Friday, August 31, 2012

8.යළි නිවැරදි කළ නොහැකි වරදකි එ‍ය.......... (දෙවන කොටස)

ඔන්න ඉතින් පොරොන්දු වුණ විදිහටම කතාවෙ ඉතුරු ටිකත් ලියන්නයි මේ ලෑස්තිය!මොකද සින්ඩරෙල්ලා පොරොන්දු අමතක කරන කෙනෙක් එහෙම නෙවෙයි!දැන් ටිකකට කළින් සින්ඩරෙල්ලාට පොඩි විරෝධතාවයක් ආවා ඊයේ ලියපු දෙයක් සම්බන්ධව.ඒ සිද්ධ වුණ වරදත් නිවැරදි කරලම ලියන්න පටන්ගන්නම්කෝ!
මම ඊයේ "අරයා" කියලා සදහන් කරපු කෙනගෙන් පොඩි නෝක්කාඩුවක් ආවා.
"ඔයා අරම අරයා,අරයා ගානකොට හරි නෑනෙ.ඒක කැතයි.ඒ නිසා ඒ වෙනුවට වෙන මොකක් හරි දාන්න කියල."
ඔන්න ඉතින් ඒ ඉල්ලීමත් සින්ඩරෙල්ලා බාරගත්තා.වෙන කාගෙවත් තව මොකුත් ඉල්ලීම් හෙම නෑනෙ?? :පී
මම එහෙනම් 'අරය" කියන තැනට "කුමාරයා" කියල Replace කරන්නම්කො.දැන් හරිනේ?? :)

ඔන්න ඊයෙ කියපු තැන ඉදලා පටන් ගන්නම්කො.

ටිකක් හවස් වෙනකම් ඉදලා එක ක්‍රියාත්මක කරන්න මාත් ලක ලෑස්ති වුණා.අම්මත් වැඩට ගිහින් නිසා යන්න වෙන්නෙ තනියම.අම්මා එන්න කළින් ගිහින් එන්නත් ඕනේ.ඉතින් ටක් ගාලා(ඇත්තටම එහෙම සද්දයක් ආවෙ නම් නෑ මට මතක විඩිහට ) හොදට ඇදගෙන කරගෙන මාත් පාරට බැස්ස.තනියම බස් එකක යන එක නම් මට මහ දෙයක් නෙවෙයි.ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් වුනෙ නැ.කොහොමහරි බස් එකක නැගලා විනාඩි 10කින් විතර කඩේටත් යාගත්තා.වීරයා වගේ ගියාට මොකද හිත ඇතුලෙ ලොකු බයකුත් තිබුණා.ඒ මදිවට එකක් පසුපස එකක් නැගුණු ප්‍රශ්න වැලකුත් තිබුණා.

"ගෙදර ගිහින් හොදට අහගන්න වෙයිද කන් දෙක පිරෙන්න??"

"රට මීයො ඔක්කොම ඉවර වෙලා තිබුනොත්?"

"මන් ගාව තියෙන සල්ලි මදි වුණොත්??"

"තාත්තා මේක දැනගත්තාම මොකක් කියයිද??"

"ඕකව අරන් කොහේ තියගන්නද?"


ඔය වගේ උත්තර නැති ප්‍රශ්න දහසක් හිතට ආවත් ම්න් ඒ ඔක්කොම අමතක කරල කඩේට ගොඩ වුණා.මොකද හිතේ තිබ්බ ආසාව ඔය හැම ප්‍රශ්නෙටම වැඩිය ලොකු වුණ නිසා.ඇත්තටම ම්න් මීයෙක් ගන්න යනකොටත් ඌව ගෙනාවට පස්සෙ කරන දේ ගැන මට කිසිම Plan එකක් තිබුනෙ නෑ.
ඒව හිතන්න බැරිය එකෙක් ගත්තායින් පස්සෙ."වෙන දෙයක් වෙච්චාවෙ!" කියලා හිතාගෙන ඇතුලටම ගියා.කඩේ ඇතුළටම වෙන්න හිටියෙ එක එක ජාතියේ "විසිතුරු මත්ස්‍ය" වර්ග.මාත් ඉතින් හැම වර්ගයකම නම සහ ඒවයෙ මිල ගණන් බලාගෙන බලාගෙන ගියා.(මොකද මාත් ඉස්සර මාළු හැදුවනේ )
"රටේ හැම දේම ගණන් යනකොට මාළුත් ඒ වේගෙන්ම ගණන් ගිහින්" කියලා මට ඒ වෙලේ හිතුණා.කඩේ ඇතුලේ සෑහෙන සෙනගක් ඉන්නවා.ඒ පොඩි ඉඩේ ඉන්නත් ඉඩ නැති තරම්.පොඩි සාධුලා (පොඩි සාධුලා කිව්වට පොඩිත් නෑ.මගේ වයසේම විතර ඇති.ඒ වගේම හැසිරුනෙත් කට ඇරල "සාධු" කියල කියන්න පුළුවන් විදිහට නෙවෙයි කියලයි මට හිතුණෙ.)වගයක් පොර කකා මාළු ගන්නවා.A/L tution ගිහින් එන ගමන්ද කොහේදො පොත්පත්,File ටිකත් අතේ තියාගෙන,classesවල කරන පුරුද්දටද කොහෙදෝ මටත් සද්දයක් දාලා හමුදුරුවො මාලු තෝරනවා.තව පැත්තක තවත් කොල්ලො දෙන්නෙක් මාලු වර්ග ගැන විස්තර අහනවා.
තව වයස අවුරුදු 12ක 13ක මල්ලි කෙනෙක් මාලු කෑම බෑග් එකකට දානවා."අනේ!පණ්ඩිතකමට තනියම ඇවිත් මම කරගත්ත මොඩකමක්!" මට එහෙම හිතුණා.

මට තිබුණු ලොකුම ප්‍රශ්නේ කඩේ හිටපු සෙනග අතරින් කවුද අයිතිකාරය කියලා හොයාගන්න එක.අහන්නත් බෑ ඉතින්.නෝන්ඩිනේ!ඕක අහන්න ගියොත් ඒ එක්කම තව පසු වදන් දෙක තුනක් අහගන්න වෙන බවත් මම දන්නවනෙ!
ඕන දෙයක් වෙද්දෙන් කියලා මාත් ලගම හිටපු කෙනාගෙන් ඇහුවා.

"රට මීයො ඉන්නවද?"

"නන්ගි,මම කඩේ එක්කෙනෙක් නෙවෙයි.අන්න අර මල්ලිගෙන් අහන්න."

අයියෝ!වස ලැජ්ජාව!කමක් නෑ!ඕකත් මොකක්ද අපි වෙලා තියන ලැජ්ජාවල් වල හැටියට!මම හිතට දිරිය අරන් ආයෙමත් අහුවා,අර පොඩි එකාගෙන්!

"මල්ලි,රට මීයො ඉන්නවද??"

"ආ..... රට මීයො නම් ඉවරයිනේ!"

මගේ හිත කඩා වැටුණා.ඒ වුණත් කමක් නෑ.ආයෙත් දවසක් ඇවිත් ගන්න පුලුවන් නේ!ඒ හින්ද අද විස්තර අහන් යනවා!ඉතින් මාත් මගේ දුක නොපෙන්වා ඇහුවා.

"ඇත්තද?එයින් එකෙක් කීයක් වෙනවද??"

"650යි"

"ඔයාලා උන්ව කොළඹින් ගේනවද?නැත්තන්................"

"ඔව්,එහෙන් ගේනවා"

"ම්ම්ම්............ ලගකදි ආයේ ගේන එකක් නැද්ද??"

"එහෙම නම් කියන්න දන්නෙ නෑ.කඩේ අයියත් පොඩ්ඩ්ක් ලගට ගිහින්.එයාගෙන් තමා අහන්න වෙන්නෙ ආවාම "

"හපෝයි!මට වෙච්චි දෙයක්!මදැයි පෙරුම් පුරලා පුරලා ආවා රට මීයෙක් ගන්න!දැන් ඉතින් ඉදපන්කො මේ කොහේවත් නැති අයියෙක් එනකන්."
මට දැන් ඉවසුම් නෑ.

කොහොමහරි ඔය දෙබස් ටික යන අතරතුරේ කඩේ හිටපු ඔක්කොම කට්ටිය තම තමන් ගන්න ආපු දේවල් අරන් යන්න ගිහින් තිබුනා.ඒක මට කියලවත් කරගන්න බැරි තරමේ උදව්වක් වුණා.(කඩේ හිටපු සෙනග අතරින් කෙනෙක් කැමැත්තෙන්ම මීයෙක් විදිහට අපේ ගෙදර එන්නත් ඇහුවා.එයාට නැට්ට විතරයිලු අඩු! )

ඒ වෙනකොට කඩේ වෙන කවුරුත් හිටියෙත් නැති නිසා මට නිදහසේ කඩේ පුරාම ඇවිදලා බලන්න ඉඩක් ලැබුණා
මාත් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න හිතාගෙන කඩේ වටේම අවිදගෙන ගියා.
මම කඩේට අතුළු වෙනකොට දොර වහගෙන සෙනග හිටපු නිසා එතනම තිබුණු කුරුළු කූඩු මට මග ඇරිලා තිබුනා.ඒවයේ හිටියා පාට පාට මම ඒ තරම් කල් දැකල තිබුණු,නොතිබුණු කුරුළු වර්ග ගොඩාක්.
ඒත් ඉතින් මොකටද?මට ඔන දේ නැතුව!

ඕන්න එතකොටයි මම දැක්කෙ!
මොකද්ද දන්නවද?
සුදුම සුදු පුළුන් බෝල වගෙ හා පැටවු වගයක් එහ පැත්තෙ කූඩුවක දාල හිටියා.
දැක්කම ආසාවේ බෑ.!
මම එතනම කූඩුව ළග පහත් වුණා.එතකොට තව ටිකක් හොදට බලාගන්න පුලුවන් වෙන හින්දා.
සුදුම සුදු හා පැටව් එක පොදියට වැතිරිලා ඉන්නවා.සුදුම සුදු උනත් උන්ගේ ඇස් රතුම රතු පාටයි.ඒක උන්ගේ පෙනුමට එකතු කරේ නපුරුබවක්.ඒ හින්ද සුදු හාවොන්ට නම් මගේ කැමැත්තක් නෑ.
ආ......... පොඩ්ඩක් ඉන්න!
අර කවුද??
රත්තරන් පාටට හුරු කහ පාට බෝල දෙකකුත් ඒ අස්සෙම ඉන්නවා.
මම හොදට බැලුවා.
දෙවියනේ!කහ පාට හාවො දෙන්නෙක්!
මම ඒ මගේ ජීවිතේට කහ පාට හාවෙක් දැක්කමයි!
මට හරිම ආසහිතුණ උන් හිටපු විදිහට.
අනික උන්ගෙ ඇස් දෙකත් කලු පාටයි.බලන්න ලස්සනයි.

මේ තරම් මහන්සි වෙලා ආපු එකේ හිස් අතින් යන්න මගේ හිත ලෑස්ති නෑ.
මම ගන්නවා මෙයින් හාවෙක්.මීයා මොකද?හාවා මොකද?පොඩ්ඩක් කන් දෙක දිගයි ඊට වඩා.තව නැට්ටක් තියෙනව.එච්චරයිනෙ වෙනස!අනික රට මීයාට වඩා මේකා Sweet වගේ!
මටත් දැන් හරීම සතුටුයි.හිතන් ආවටත් වඩා ලස්සන සතෙක් මට හම්බුණා.

මම මගේ ක්ෂනික තීරණය ඉක්මණටම කුමාරයටත් එකක් දීලා දැන්නුව.

"මේ,මාර වැඩේනෙ!රට මීයො නෑනෙ!ඉවර වෙලා.ආයේ ගේන දවසක් කියන්නත් බෑලු!"මම බොහොම දුකින් කිව්වා.

"අනෙ!ඇත්තද?දැන් මොකද කරන්නෙ?මමත් හරි අසාවෙන් හිටියෙ ඔයා එකෙක් අරන් එනකන්.අපරාදෙ!ඔයා ආසාවන් ආපු එකනෙ!හාවො ඉන්නවද?එහෙනුම් හාවෙක් ගන්න.කොහොමත් ඔය මීයොන්ගෙන් ලෙඩ එහෙමත් හැදෙනවද දන්නෙත් නෑනෙ!

"සුදු පාටයි,කහ පාටයි තමයි ඉන්නෙ.මොන පාටද ගන්නෙ?"

"කහ පාට??මම නම් දැකලම නෑ!සුදු අය ලස්සනයිනෙ.එකෙක් ගන්න"

"අනේ!උන්ගෙ ඇස් රතු පාටයිනෙ!බය හිතෙනවා!මම ආස නෑ! කහ පාට අය නම් ලස්සනයි.ආස හිතෙනවා."

"ඔයා අස නම් කහ පාට එකෙක් ගන්න.ලස්සන ඇති.මාත් කහ පාට අය දැකලම නෑ.බලන්න ආසයි මටත්!"
(කුමාරයගෙ ගෙදරත් කලුයි සුදුයි හාවො දෙන්නෙක්ම ඉන්න නිසා තමයි හාවො සම්බන්ධව කුමාරයගෙ උපදෙස් පැතුවේ)

කහ පාට හා පැටව් වගයක් නම් ඉන්නවා! ඔහොම තමයි ඒ කතා බහ.අන්තිමේ අපි සාමූහික තීරණයකට එළඹුන කහ පාට හා පැටියෙක් ගන්න රට මීයා වෙනුවට.

"මේ හාවෙක් කීයද??"

"600යි"

ජෝඩුවක් ගන්න නම් ගෙනිච්ච සල්ලි මදි.මගේ අතේ ඒ වෙලාවෙ අරන් ගිහින් තිබුණෙ 1000යි.

"මල්ලී,මට එහෙනම් මේ හා පැටියෙක් දෙන්නකෝ.මේ කහ පාට එකෙක් හරිද?"

කොයි එකාද ඕනෙ කියල පෙන්නනකෝ මෙතනට ඇවිත්"

"මෙන්න මෙයා"

මම එතන හිටපු හුරතල්ම හා පැටියට අත දික්කරන ගමන් කිව්වා.

මල්ලිත් කූඩුව ඇතුලට අත දාලා මම පෙන්නපු පැටියව එලියට ගත්තා.ඌත් වැඩි කලබලයක් නොකරම එලියට ආවා.

"පෙට්ටියක දාලා දෙනවා නේද?"

"ඔව්,දාලා දෙන්නම්.ගොඩක් දුර යන්න තියෙනවද?"

"අහවල් තැනට"

"වාහනේකද යන්නෙ?"

"නෑ,බස් එකේ."(ඇයි බස් එක වාහනයක් නෙවෙයිද?)

කොහොමහරි ඉතින් මල්ලිත් අර හා පැටියා අල්ලලා පෙට්ටියක දාලා ඒකෙ හිල් විදලා හොදට තියලා මගේ අතට දුන්නා.

මාත් ඉතින් ගණුදෙනු බේරලා කරලා පාරට බැස්සා හරිම සතුටින්.ලස්සනම ලස්සන හා පැටියෙක් දැන් මගේ!ඉක්මණටම ගිහින් බස් එකක් එනකන් ඉදල නැග ගත්තා.හොද වෙලාවට නගින තැනම Seat හිස් එකක් තිබුණා.මාත් ටක් ගාල එතනින් වාඩි වුණා.පරිස්සම්න් පෙට්ටියත් අල්ලගෙන.බස් එක යන වේගෙට හාවට කරකැවිල්ල හැදෙයිද දන්නෑ.
මම ඉතින් සැරින් සැරේ පෙට්ටිය ඇතුලට ඇහැ දාලා ඌ හොදින්ද කියලත් විපරම් කරනවා.මට පිටිපස්සෙ එකේ හිට්යෙ කවුදෝ ගෑණු කට්ටියක්.මෙයාලත් දැන් මගේ දිහා බලාගෙන ඉන්නවා හොදට.එයාලට ඉවසිල්ලක් නෑ පෙට්ටිය ඇතුලෙ මොකෙක්ද ඉන්නෙ කියලා දැනගන්නකම්.
මට දැන් ඇහෙනවා එයාලා එයාලා කතා වෙනවා. :පී
ඔන්න කවුද මට තට්ටුවක් දැම්මා.
වැඩේ හරි!
මෙයාලා දැන් ලෑස්ති වෙන්නෙ සහසුද්දෙන්ම පෙට්ටිය ඇතුලෙ ඉන්නෙ මොකෙක්ද කියලා දැන ගන්න.

"නන්ගි,පෙට්ටිය අතුලෙ ඉන්නෙ සතෙක් නෙද?මොකෙක්ද?"
(නන්ගි?අනේ දෙයියන්ටම පේන්න ඕනා.මම එකපාරටම අවුරුදු 15කින් 20කින් විතර වයසට ගිය හැටි.)

"බලු පැටියෙක් නේද?" එක්කෙනෙක් පැනපු ගමන් අහුවා!

"නෑ!පූස් පැටියෙක්!" ඒ තවත් කෙනෙක්.

"නෑ.මම හිතන්නෙ නම් හාවෙක් වෙන්න ඇති." ඒ තුන්වැන්නා.

"ඔව්,ඔව්.හා පැටියෙක් තමයි." මම කිව්වා.

"සුදු පාටද?"

"නෑ,කහ පාටයි!"

"අනේ!ඒකනෙ මම කිව්වෙ නැද්ද කලින්ම.අනේ කො පෙන්නන්නකො චුට්ටක්!"

මේ දන් පෙට්ටිය ඇරලා හාවා එලියට පැන්නොත්!එහෙම කියලත් බෑනෙ ඉතින්.කට්ටියගෙම ආසවනෙ.මමත් ඉතින් පෙට්ටිය කෙලවරින් චූට්ටක් ඇරල කට්ටියටම පෙන්නුවා.

"ආනේ!චූටි එකෙක්!"

"කහ පාටයි"

හරිම ලස්සනයි"

කට්ටියගෙන්ම උපරිම ප්‍රෙක්ෂක ප්‍රතිචාර!
මටත් ඉතින් හෙනම සතුටුයි.!

කොහොමින් කොහොම හරි බහින තැනත් ලන් වුණා.
මාත් පරිස්සමට පෙට්ටිය අල්ලගෙන,හෙලවෙන්න නොදී බස් එකෙන් බැස්ස.
පයින් යන්න තියෙන ටික දුරත් හිමින් හිමින් ආවා පය පැටලිලා වැටෙයි කියලා තියෙන බයට.

කොහොමහරි ගෙදරටම ආවා!


හ්ම්ම්හ්!අදත් ගොඩාක් වෙලා කතාව කිව්වා.තාම දවල්ට කෑවෙත් නෑ.දැන් බඩත්ගිනියි!එකදිගට කියවනකොට එපා වෙනවත්නෙ.ඉතින් ඉතුරු ටික අනිත් දවසෙ කියන්නම්.කතාව ටිකක් දිග නිසයි කොටස් වශයෙන් ලියන්නෙ.ඒකට සමා වෙන්ඩ ඕනා!මගේ හා පැටියට ගෙදරින් ලැබුණු Comments ගැන ලියන ඊලග කොටස ලගදිම බලාපොරොත්තු වන්න!


Thursday, August 30, 2012

‍7.යළි නිවැරදි කළ නොහැකි වරදකි එ‍ය.......... (පළමු කොටස)

සින්ඩරෙල්ලාට කාලෙකින් බ්ලොග් එකක් ලියන්න අඩවිය පැත්තෙ එන්නත් බැරි වුණා.ලියන්න හොද අදහසක් හිතට ආවෙ නෑ වගේම ඒකට සුදුසු වටපිටාවක් තිබ්බෙත් නෑනේ.ඉතින් ඔහේ ජීවිතෙ ගෙවිලා ගියා.ඒ අස්සෙ පොඩි කාලේ ඉදන් තිබ්බ ආසවකුත් ඉෂ්ඨ කරගන්න සින්ඩරෙල්ලට පුලුවන් වුන.ඒ තම පවුලෙ කට්ටියත් එක්ක "නුවර" ගිහින්,දවස දෙකක් තුනක් නැවතිලා ඉදල හොද නිවාඩුවක් ගත කරන එක.දැන් ඒ ආසාවත් ඉෂ්ඨ වුණා.ඒ වගෙම හිතේ තිබ්බ ලොකූ බරකින් අද නිදහස් වුනා.ඒ කියන්නෙ A/L Exam එකේ අන්තිම Subject එකත් අද ලියලා දැම්මා.Common General Test එක හෙවත් සාමාන්‍ය පොදු පරීක්ෂණය.
දැන් ඉතින් ආයෙමත් දිගටම ලියන්නයි බලපොරොත්තුව!

ලියන්න දේකුත් නැතුව දහ අතේ කල්පනා කර කර ඉන්නකොට අහම්බෙන් වගේ මට මතක් වුණා ලියන්න දෙයක්.සින්ඩරෙල්ලගෙ ජීවිතේ සැබෑ අත්දැකීමක් වගේ යමක් හිතන්න පොළඹවපු සිදුවීමක්.ඇත්තටම කිව්වොත් ඒක අහිමිවීමක්!සින්ඩරෙල්ලා පණටත් වදා අදරෙ කරපු කෙනෙක් එක පොඩි අතපසුවීමක් නිසා සදහටම වෙන්වුණු හැටි මේ කියන්න යන්නෙ.මතක් කරන්නත් අකමැති වුණත් කාටත් දෙයක් හිතන්න ඉතුරු කරන නිසා දුකින් වුනත් ඒ කදුලු කතාව දිග අරින්නම්.මේක මට වගේම ඔයලටත් හොද පාඩමක් වේවි.

මම පොඩි කාලෙ ඉදලම ගොඩාක් ආදරේ කළා සත්තුන්ට.බල්ලො,බළල්ලු,ලේන්නු,කුරුල්ලො......... ඔය වගෙ හැම සතාටම.ඒ අතරින් බලු පැටවුන්ට තමයි ගොඩක්ම ආදරේ.මම පොඩි කාලෙත් මට තිබුණෙ පුදුම ආසාවල්.මම ඉල්ලන දේවල් මට ගෙනත් දෙන්න තාත්තට පුළුවන්කමක් තිබ්බෙ නෑ කොහෙත්ම!ඒ නැති බැරි කමක් හින්දා නම් නෙවෙයි.

"අනේ තාත්තේ!මට ගෙනත් දෙන්නකො ෆාම් එකෙන් හාවෙක්!
"හාවෙක්??පිස්සුද ලමයො!ඔය ඉන්න රොත්ත මදිවටද??"
(තාත්තා එහෙම කියන්නේ ඔය කාලේ වෙනකොටත් අපේ ගෙදර බලු පැටව් බර ගානක් හිටපු හින්දා)
ඒත් පරාජය භාර ගන්න මම සූදනම් නෑ.
"හරි,කමක් නෑ.එහෙනම් කෙනෙක් හරි වටුවෙක් හරි.නැත්තන් කුකුල් පැටියෙක්,එලු පැටියෙක්,හරක් පැටියෙක් වුනත් කමක් නෑ."
"පිස්සු නැතිව ඉන්න.නැති ලෙඩ දාගන්න හදන්නෙ.අන්තිමේ මට තමා එවුන්ගෙ වැඩත් කරන්න වෙන්නෙ"
නිතර දෙවේලේ ඔය ටික වුණත් ඒකේ ඉවරයක් තිබුණේ නෑ.මගේ ඔය ඉල්ලීම් වලට අම්මාගෙන්වත් කිසිම එකක් තිබුණේ නෑ.ඒක පුද්ගල සටනක් තමා තනිකර ගෙනිච්චෙ.

අන්තිමේ මගේ වදෙන් බේරෙන්නම බැරි තැන අම්මයි තාත්තගෙයි කැමත්ත ලැබුණා.

මොකටද දන්නවද???

අම්මාගේ යාලුවෙක්ගෙ පුතෙක්ගෙන් Sword Fishලා වගයක් ගෙනත් දුන්නා.මාළු ටැන්කියක් කරන්න කියල ඕනෙම නම්.
මොනව කරන්නද??


වෙලාවෙ හැටියට,නෑ නෑ.ආසාවෙ හැටියට ඒකත් නරක නෑ.අල්ලන්න අතගාන්න බැරි වුණත් අවුලක්ම නෑ.උන්ට කෑම දාන එකේම තියෙන ජොලිය කොච්චරද??
එහෙම හිතල ඒ දවස් වල සෑහීමට පත් වෙන්න සිද්ධ වුණා.ඒ කාලේ ඉතින් පොඩියිනේ! :ඩී

හැබැයි කාලයක් ගියත් පරණ පිස්සුව නම් හොද වුණේ නෑ.ලොකු වෙනකොට හරක්,එලුවො හදන අදහස හිතින් අත් ඇරගත්තත්,බල්ලොන්ට,පූසොන්ට,හාවොන්ට තිබ්බ ආසාව නම් එහෙමම තිබ්බා.(ඔය අතරට අලුත් ආසාවල් වුණා.හරියට රට මීයො(උන්ට හැබැයි කාලයක් ගියත් පරණ පිස්සුව නම් හොද වුණේ නෑ.ලොකු වෙනකොට හරක්,එලුවො හදන අදහස හිතින් අත් ඇරගත්තත්,බල්ලොන්ට,පූසොන්ට,හාවොන්ට තිබ්බ ආසාව නම් එහෙමම තිබ්බා.(ඔය අතරට අලුත් ආසාවල් වුණා.හරියට රට මීයො(උන්ට Guinea pigs කියලත් කියනවා),සුදු මීයෝ වගේ කට්ටියත් මගේ list එකට add වුණා.
කොහොමින් කොහොම හරි කාලේ ගෙවුණා.හැම සතියෙම Hit Ad එක අරන් ඒකේ මුලටම පෙරලලා DOGS,CATS,PETS Page කියන එක බලන එක මගේ පුරුද්දක් වෙලයි තිබුණේ.ඒකෙ හැමදාම විකුණන්න දාලා තියෙනවා ලස්සන ලස්සන හොද Pedigrees වල බලු පැටව්,Persian පූසො,imported car,malaysian goats එක එක ජාති.
ඔහොම ඉන්නකොට,මීට මාස තුන හතරකට කලින් මට දකින්න ලැබුණා......... ඒ තරම් කල් මම ආස කරපු දෙයක්.රට මීයො!Guinea Pigs for sale advertisement කියල එකක් දාලා තිබුණා.විකුණන්න තිබුණේ පිළියන්දල පැත්තේ තැනක.
ඔන්න ඉතින් යටපත් වෙලා තිබුණු ආසාවක් ආයෙත් උඩට ආවා.දැන් හිතේ වැඩ කරන්නෙම කොහොමහරි රට මීයෙක් ගන්න විදිහක්.Add එකත් කපලා අතේ තියාගෙන කල්පනා කරනවා.කොහොමත් පිළියන්දල ගිහින් නැති කරදරයක් ගෙදර අරන් එන්න තරන් අපේ තාත්තාට පිස්සු නැති බව මම නොදන්නවා නෙවේනෙ.ඒ අතරේම අරයාටත් add එක පෙන්නලා ආසාව කිව්වා.අන්න එතකොට තමයි පොටක් පෑදුනේ.එයාගෙන් තමා මට රට මීයෙක් මේ අවටින් ගන්න පුලුවන් තැනක් ගැන ඔත්තුවක් ලැබුනෙ.
"මුන් මද කියන්න නම් ම්න් හරියටම දන්නේ නෑ.ඒත් අහවල් තැන කඩේ නම් කූඩුවක දාලා අමුතු සත්තු ජාතියක් ඉන්නවා.හාවෝ වගේම කන් දෙක කොට,නැට්ට නැති සත්තු ජාතියක්.මාත් ඒ දැක්කාමයි."
"වැඩේ හරි!මේ තියෙන්නෙ මට ඔන කරපු දේ!"
දැන් ඉතින් ගන්න පුලුවන් තැනකුත් ගන්නවා.ඒත් කොහොමද එකෙක් ගන්නෙ?? :ඕ


ගෙදරින් නම් කීයටවත් Permission ගන්න බෑ.
කෝකටත් කියල ඉස්සෙල්ලම ෂේප් එකේ මුට්ටියා දාල බැලුවා අම්මට.

"අනේ අම්මෙ,අර අතන අහවල් කඩේ රට මීයො ඉන්නවලු.හවසට අම්මා ටවුමට යනකොට මාවත් එක්කන් යන්නකො බලන්න.ගන්න නෙවෙයි.මොනවගේද කියල බලන්න විතරයි."
කෝකටත් කියල ඉස්සෙල්ලම ෂේප් එකේ මුට්ටියා දාල බැලුවා අම්මට.
'අනේ අම්මෙ,අර අතන අහවල් කඩේ රට මීයො ඉන්නවලු.හවසට අම්මා ටවුමට යනකොට මාවත් එක්කන් යන්නකො බලන්න.ගන්න නෙවෙයි.මොනවගේද කියල බලන්න විතරයි."
"මීයො??ඈයියා!මොනවා බලන්නද?මට නම් මතක් කරනකොටත් හිරිකිතයි.මට අප්පිරියම ජාතියක් තමා ඔය මීයො.කතා කරන්න එපා!මේ පැත්ත පලාතේ ගෙනාවොත් මී බේත් ටිකක් තම්යි දෙන්නෙ මම".

ම්ම්හ්!!Mission Failed!අම්මා නොදන්නවය දූ පොඩ්ඩගෙ තරම.බලන්න එක්කන් ගියොත් එකෙක් අරගෙනම තමයි පස්ස බලන්නෙ කියල අම්මා හොදාකාරවම දන්නවනෙ.ඉතින් මාව ඒ පැත්ත පලාතෙ එක්කගෙන නොයන්න තරම් අම්මා ප්‍රවේසම් වුනා.

එහෙනම් මන් හවසට තනියම ගිහින් බලලා එන්නද??"
"අරහෙ මෙහෙ රස්තියාදු ගහන්නෙ නැතුව මෙන්න මේ ගෙදරට වෙලා පොතක් පතක් බලා ගන්න."
ම්ම්හ්!ඒ වැඩෙත් හරි ගියේ නෑ!

හහ්!මට ඕනෙ නෑ කවුරුත් ගෙනත් දෙන්න.මගේ වැඩ මමම කරගන්නම්කො!මම පෙන්නන්නම්කො එකෙක් ගෙනත්ම.
එතකොට මීයා දැකලා අම්මට Heart Attack හැදෙයි.
ඔය වචන ටික මගේ කටින් පිට වුනේ නෑ.හිතේ සටහන් වුනා විතරයි.
ඒ මගේ හිතුවක්කාරකම.
පොඩි කාලේ ඉදලම මට දෙයක් ඕනේ කියල හිතුනොත් එක අරගෙනම තමයි පස්ස බලන්නෙ.
ඇත්තටම ඒක නරක පුරුද්දක්.
ඒත් මොකක් කරන්නද?ඒ මගේ හැටිනෙ!
ඔන්න ඉතින් කොහොම හරි මාත් තදින්ම හිතාගත්තා මම තනියෙම හරි ගිහින් එකෙක් අරන් එනවමයි කියල.මන් අරයටත් මගේ අදහස කිව්වා.
එයත් සත්තුන්ට ආදරේ නිසාත්,රට මීයෙක් බලා ගන්න එයාට තිබුනු කැමත්ත නිසාත් එයත් කැමැත්ත දුන්නා.
ඔන්න ඉතින් මාත් හවස් වෙලා දඩ බඩ ගාලා ලෑස්ති වුනා.
ඔන්න මන් දැන් රට මීයෙක් ගේන්නයි යන්නෙ! :)
හ්ම්ම්!අද ගොඩාක් වෙලා ලිව්වනේ.දැන් රෑත් වෙලා.කතාවෙ ඉතුරු ටික හෙට කියන්නම්.එතකම් ඉවසන් ඉන්නකො!


මතු සම්බන්ධයි!(To be continued)

Thursday, August 23, 2012

6.නුඹ............









මා හිසට සෙවණ සැදු
විසල් තුරු හිස නුඹය
උණුසුම් කතර මැද
සිසිල් පැන් බිද නුඹය
රෑ අහස එලිය කළ
ලා සඳ කිරණ නුඹය
ඉමක් නැති සයුරු තෙර
මග සළකුණ නුඹය

විඩාබර සිත් ගැබට
මිහිරි ගී නද නුඹය
වියලුණු ගහ කොළට
සිහින් පොද වැසි නුඹය
තනිව පිපි කුසුමකට
ඇදුණු බඹරිදු නුඹය
මගේ ලොව එළිය කළ
සිහින කුමරා නුඹය...........








5.තාත්තාගේ තරුණ අවධිය...........

බ්ලොග් එක පටන් ගත්ත දවසෙ ඉදලම සින්ඩරෙල්ලා ලිව්වෙ ආදරේ ගැනම නිසා,කියවන අය හිතාව්ද දන්නෙ නෑ මේක ආදර ලෝකයක් කියලා.ඒ හින්දයි,ඒකාකාරී බවින් මිදෙන්න ඔන නිසයි සින්ඩරෙල්ලා කල්පනා කලා අලුත් දෙයක් ගැන ලියන්න.දැන් මේ සින්ඩෙරෙල්ලා අරන් තියෙන්නෙ ඉතාම භයානක තීරණයක්.සින්ඩරෙල්ලා කල්පනා කලා සින්ඩරෙල්ලගෙ තාත්තා තරුණ කාලේ කරපු වැඩ ගැන ලියන්න.ඇත්තටම මේවා සින්ඩරෙල්ලාට ආරන්චි උනේ තාත්තගෙ යාළුවන්ගෙන්.මොකද මේවා සිද්ද වෙන කාලේ සින්ඩරෙල්ලා ඉපදිලා තියා තාත්තා කසාදයක් වත් බැන්දලා නෑ.


තාත්තාට දැන් 50ත් පැනලා.ඒ වුනත් තාත්තට තියෙන්නෙ වයසට නොගැලපෙන තරමේ ලස්සන නමක්.මම කල්පනා කරනව ඇයි තාත්තගෙ සම වයසෙ අයට වගේ තාත්තාටත් "සිරිපාල","සෝමසිරි","චන්ද්‍රසිරි" වගේ නමක් අත්තම්මයි සීයයි දාලා නැත්තෙ කියලා.ටිකක් හිතන් යනකොට මට තේරුණා සිද්ධිය.ෂුවර් එකටම සින්ඩරෙල්ලාගෙ අත්තම්මට ඒ කාලේ හින්දි පිස්සුවක් තියෙන්න ඇති.මොකද අපේ තාත්තාට විතරක් නෙවෙයි,බාප්පා,මහප්පා දෙන්නටත් තියෙන්නෙ පරණ හින්දි නළුවන්ගෙ නම්.ඒ දෙන්නගෙ නම් නම් ටිකක් common.ඒත් අපේ තාත්තාට තමයි ලස්සනම,ඒ වගේම unique name එක තියෙන්නෙ.නම වගේම හොන්ද කඩවසම් පෙනුමකුත් තත්තට තිබුණු බව මම දන්නවා.ඒ තරුණ කාලේ ගත්ත පින්තූර වලින්.

තරුණ කාලෙදිම ප්‍රසිද්ධ බැන්කුවක සේවයට ගිය තාත්තා අදටත් සේවය කරන්නෙ එහෙම තමයි.අද වෙනකොට යමක් කමක් හම්බ කරගෙන හොද සැපවත් ජීවිතයක් ගත කලත් තාත්තා ඒ වගෙ තත්වෙකට ආවේ කාගෙන් වත් කිසිම දෙයක් ලබා නොගෙන තමන්ගෙම උත්සාහයෙන්,දැඩි කැපවීමෙන් කියලා බොහෝ දෙනා දන්නවා.අද වෙනකොට බැන්කු කළමණාකාරවරයෙක් වුනත් මම දන්න තරමින් තාත්තා බැන්කුවෙ සේවයට බැන්දිලා තියෙන්නෙ සාමාන්‍ය ලිපිකරුවෙක් විදිහට.


ඒක ඒ තරම් බැරෑරුම් තනතුරක් නොවෙන නිසා තරුණ අවධිය විනෝදෙන්,සැහැල්ලුවෙන් ගත කරන්න ඔහුට ඉඩක් ලැබෙන්න ඇති.තාත්ත කළ බොහෝ දෑ තත්තා වටේ හිටපු මිත්‍ර සමාගමට නම් විනෝදයක් වුණ බවයි මට පේන්නෙ.මොකද මගේ තාත්තා හිතා මතා කාටහරි විහිලුවක් කරනවා නම් මම මගෙ ඇස් දෙකට දැකලා නැති නිසා.මට මතක කාලයේ ඉදලම ඔහු ටිකක් නිහඩ පුද්ගලයෙක්,ඒත් තරුණ කාලේ එහෙම නැතුව ඇති කියලයි ඇහෙන දේවල් අනුව සින්ඩරෙල්ලට හිතෙන්නෙ

මේ කියන්න යන්නෙ තාත්තා තරුණ කාලේ තාත්තට වුණ ඇබද්දි කීපයක්.ඒත් තාත්තගෙ යාලුවන්ට නම් මේ දේවල් නියම විනෝදයක් වුණු බවයි ආරන්චිය.

*********************************************************************************************************

මේක බැන්කුවෙදි වෙච්ච දෙයක්!

"ගාලු කොටුව බැන්කු ශාඛාවවේ කෑම කාමරයට යන්නේ සාලය වැනි විශාල කොටසේ වූ ජන්ගම ගිණුම්,ඉතිරි කිරීමේ ගිණුම්,BATCH ආදිය පසු කරගෙනය.ඉපැරණි බරසාර Telephone රාජයා සමග සිටින රජකාලේ Type Writerය ද සෑහෙන සාවියක් හසු කරගෙන සිටියේය.යතුරු ලියන්නිය නොමැති වෙලාවක තාත්තාගේ සහෝදර බැන්කු සගයෙක් Type Writerය මත පත්තරය එලාගෙන කියවමින් සිටියේය.ඔහුගේ දුම් දමන තේ කෝප්ප්ය තබාගෙන තිබුනේ Type Writerය මත එලන ලද පත්තරයේ අග්ගිස්ස හරියේය.සාලය හරහා යමින් සිටින කෙනෙකුට පෙනෙන්නේ ඔහු Type Writerය මත එලූ පත්තරය කියවමින් සිටින බවකි.

ඔලිම්පික් තරගයේදී පාදයේ මස් පිඩු තෙරපීමකට ලක් වී,රන් පදක්කමට තරග වදිමින් සිටි සෝලා බඩ්,තරගය අතර තුරදී කුන්දු ගසමින් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීම එකල ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන දසුනකි.ඇය තම දෙකකුල් බදාගෙන හඩා වැලපෙමින් මන් තීරුවෙන් ඉවතට පැන බිම වැතිරී සිටියාය.ඇගේ එක අනුවේදනීය අවස්ථාව ඉතා මතකයේ සිටින අයුරින් කැමරාගත කල පින්තූර එකල ඉතා සුලභ විය.මාස 6ක පමණ කාලයකින් පසු "සෝලා බඩ්" පුවත්පත් සාකච්ඡාවකින් පසුව කියා සිටියේ දැන් ඇයට පූර්ණ වශයෙන්ම සුව බවය.මෙය ඉතා ප්‍රබල ප්‍රසිද්ධියක් දී ප්‍රචාරය කරමින් තිබුණි.පුවත්පත කියවමින් සිටි ඔහු එහි ප්‍රධාන ශීර්ෂය කියවමින්,
"ඒයි..... මෙන්න සෝලා බඩ් ආපහු සීන් එකට ඇවිල්ලා"යයි කෑ මොර දුන්නේය.ඔහුගේ අවාසනාවකට ඒ වෙලාවේ එතනින් යමින් සිටියේ මගේ තාත්තාය.Type Writerයේ පත්තරය වනාගෙන සෝලා ගැන කියන මිත්‍රයා දෙසට යාමට ඔහු අමතක නොකලේ,ඔහුට හැම දෙයක් ගැනම දැන ගැනීමේ උවමනාව තිබූ නිසාය.

"මොකද්ද මොකද්ද කීවෙ?.. ඒ පාර මොකද්ද සෝලාට වෙලා තියේන්නේ.."
දැන් තාත්තා යන්නේ Type Writerයේ පිටි පැත්තෙනි.එදෙසින් බැලූවිට ඔහුට පෙනෙන්න් Type Writerය වසාගත් පත්තර පිටු පමණකි.ඔහුට පත්තරය බැලීමට වුවමනා විය.ඔහුට නොපෙනෙන පැත්තේ දුම් දමන තේ කෝප්පයක් තිබෙන නව ඔහුට නොපෙනේ;නැතහොත් ඔහුට එය දැන ගැනීමට වුවමනාවක්ද නැත.
"කෝ බලන්න........... උඹයි මමයි දන්න සෝලා බඩ්"යයි සරදමට කියමින් ඔහු පිටි පස්සේ සිට පත්තරය මුළුමුනින්ම තමන් දෙසට ඔසවා ඇද්දේය.
එකවරම මර හඩක් ඇසිනි.දුම් දමන තේ කෝප්පය පෙරැලී ගිනි රස්නයෙන් යුත් තේ වතුර මිතුරාගේ ඉනෙන් පහල දවාගෙන ගලා යයි.කෝප්ප පීරිසි කුඩු පට්ටම් වී මහා ගාල ගෝට්ටියක් ඇති විය.

මිතුරා දෑතින්ම තම ඉනෙන් පහළ කොටස වසාගනිමින් කෑම කාමරය පසු කර නාන කාමරයට වැදී දොර වසා ගත්තේය.තාත්තා කථා නැත,තුෂ්නිම්භූතව් වී බලා සිටී.සිද්ධිය දුටු හා නුදුටු බවලත් උදවිය විලාප දෙමින් පැසේජය දෙවනත් කරමින් කලබල කරන්නට විය.මිතුරාගේ ඇදුම බතික් මෝස්තරයක් දැමූ කලෙක මෙන් විය.කාර්‍යාලයේම සුලු සේවකයෙකු විසින් දෙන ලද සුදු ෂර්ට් එක සහ සුදු කලිසම නාන කාමරයේ දොර හැර මිතුරා අතට දුන්නේ ඔහුට වෙන අදින්නට කිසිවක් නොවූ බැවිනි.
මිතුරා ප්‍රථමාධාර ද ලබා CBC යයි සාක්කුවේ මැසූ කමිසය ද,කලිසමද හැද එලියට ආවේය.සියල්ලට මුල වූ මගේ පියා ඔහු දෙස බලා,ඔහු යුන්ෆෝමයක් ඇද ඇති බව ඉතා පැහැදිලි වන සේ,
"බලපන්.... මූ හොදයි දැන් Cheque ටිකක් දීලා Clearing යවන්න.... යයි කී විට සියල්ලෝම සිනාසුණේ විහිළුවට පමණක්ම නොව,එතරම් විනාශයකට මුල වූ ඔහු කිසිදු බරක් නොමැතිව එසේ කියමින් ය වෙත ගිය ස්වරූපය නිරීක්ෂණය කිරීමෙනි.

මේ සිද්ධියත් සමගම කොටුව ශාඛාවේ ඕනෑම පිගන්,වීදුරු බ්දී යාමක්,අත් වැරද්දකින් සිදුවන අකරතැබ්බයක්,ඕනෑම වර්ගයක "වණ"වීමක් හැදින්වූයේ "සෝලා පාරක්" යන නමිනි."

**********************************************************************************************************

ප්‍රවීන ගීත රචකයෙක් වන බන්දුල නානායක්කාරවසම් අපේ තාත්තාගෙ හොදම යාළුවෙක්.තරුණ කාලේ දෙන්න එකට බැන්කුවෙ වැඩ කරලා තියෙන්නෙ.මේ කියන්න යන්නේ බන්දුල අන්කල්ට මෝටර් බයිසිකල් පදින්න උගන්වන්න ගිහින් වෙච්ච වැඩක්.

"තමන්ගෙ අතිජාත මිත්‍රයාට මෝටර් බයිසිකල් පදින්න උගන්වන්න තාත්තට පුදුම උනන්දුවක් තිබුණි.මිතුරාගේ සොහොයුරියගේ නිවසට යායුතු ගමනක්ද විය.අවශ්‍යතා දෙකම සපුරා ගනු පිණිස දෙදෙනාම C-90 බයිසිකලයේ නැගී පිටත් විය.නගරයේ තදාසන්න පෙදෙසින් ඉවත් වූ පසු තාත්ත තම මිතුරාට බයිසිකලය පදින්නට දුනි.ඔහු ඉබ්බෙකු මෙන් ඉතා හෙමින්ද,ඉදිරියෙන් එන වාහන දුටු විට පිටිපස සිටි මගේ පියාව ගස්සමින් බ්‍රේක් ගසමින්ද ගමන් කරන්නට වූ නිසා.
"මමම යන්නම්....පස්සෙ බැරියැ ඉගෙනගන්න....මේක මෙහෙම ගියොත් තමා ගන්ඩ වෙන්නෙ"කියමින් තාත්තා යලිත් මෝටර් සයිකලය ගෙන ඔහුම පදින්නට විය.

ඒ යන අතරතුර ඔහු ඇක්සලේටරය ක්‍රියා කරවන හැටි,බ්‍රේක් ගසන්නට නොගොස්,ඇක්සලේටෙරයෙන් වේගය පාලනය කරන හැටි කියා යාළුවාට විස්තර කරන්නට විය.මිතුරාගේ සහෝදරියගේ නිවසට යාමට තිබුණේ ඉතාමත් ප්‍රියන්කර වූ සුදු වැලි සහිත පාරකිනි.දකුණු පස නිවන් වෙල් යායය.සුදු වැලි පාර නයෙකු මෙන් වක ගැසී වන්ගු සහිත වූවකි.

"මේ වගේ පාරක යනකොට අපි ටිකක් ඇගෙනුත් ඒ වන්ගු වලදි නමෙන්න ඕන...අන්ශක තිහට විතර ගත්තත් කමක් නෑ..."

බයිසිකලය නවමින් තාත්තා කියද්දිම සමතුලිතතාවය බිදී බයිසිකලය මුළුමුනින්ම බිම ඇනී දෙදෙනාම පොළවේ ගසන්නට සමත් විය.මිතුරාගේ වැලමිටි දෙකම පට්ටා ගොස් ලේ ගලන්නට විය.ඒ මදිවාට දණහිස හරියේ කලිසම පිච්චී එයද තුවාල විය.තාත්තාට වැඩි කරදරයක් නොවීය.ඔහු විසින් අසල තිබූ "ගොබළු" ගෙඩියක් උරච්චි කොට ඔහු එහි හපය මිතුරාගේ තුවාල මත තබන විට මිතුරාට දෙවියන් බුදුන් සිහිවිය.ඔහුගේ මොර තැබීමට අසලක පොදු ලිදක නාමින් සිටි ගැහැනු දෙදෙනෙක් බියපත් වූහ.

"ලොකු දෙයක් වෙලා නෑ.මොකද විලාප ගහන්නෙ?"කියූ තාත්තා රෝද කරකැවෙමින් තිබූ බයිසිකලය යලි කෙලින් කර මිතුරා එහි තබා ගත්තේය."


*********************************************************************************************************


මේ ඡායරූපකරණය කරන්න ගිහින් වුණ ඇබැද්දියක්!

"ඉතා මනරම් වූ නුවර එළිය විනෝද චාරිකාවේ පදමට මත් වූ පිරිසේ ඡායාරූප ගැනීම භාරව සිටි,දීප්තිමත් කැමරාකරුවෙකු වූ තාත්තා හග්ගල මල් වත්තේදී රීලයක් අවසන් වන තුරු ෆොටෝ ගැසීය.එදා අද මෙන් ලබාගත් ඡායාරූපයේ අඩු ලුහුඩුකම් එවෙලෙහිම ඩැක බලා ගැනීමට විදිහක් නොතිබුණි.නෙගටිව් සුද්ද කර බලන විට තිබුණේ අත් ,පා කැබලි සහ ගහ,කොළ,අහස.මල් පාත්ති යනාදියයි.

එක පින්තූර මුද්‍රණයෙන් පසු මිනිසුන් නැති ඡායාරූප ගැන කියන විට කවුරුත් තාත්තාට කිව්වේ
"අහස පොලව වට පිටාව හරිම හිස් තැනක්........" කියාය.


*********************************************************************************************************

(ඉහත සදහන් කිසිම සිදුවීමක් සින්ඩරෙල්ලා ඇස් දෙකට දැකලා නැති වුණත්,ඇසින් දුටු සිදුවීම් ලෙස ඉදිරිපත් කළේ ලිවීමේ පහසුවට පමණක් බව කරුණාවෙන් සලකන්න.)

Wednesday, August 22, 2012

4.අලිමන්කඩ සිට.......



යාපනය අර්ධද්වීපයට ද,අලිමන්කඩ හමුදා කදවුරට ද එල්ල වූ දැවැන්ත කොටි ප්‍රහාරය නිසා,යාපනය අසල රැදී සිටි ඔත්තුකාරියක කැදවාගෙන යාමේ සුපුරුදු රාජකාරිය පැවරුණු හමුදා නිලධරයෙකුට බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමට සිදුවිය.ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ පවතින වන්නිය හරහාද,පසුව මිනිස් වාසයෙන් තොර විල්පත්තු අභය භූමිය ඔස්සේ ද,පලා යාමට මේ ප්‍රතිවාදීන් දෙදෙනාට සිදු විය.

ගමන අරඹන විට දැඩි ප්‍රතිවාදීන් ව සිටි කපිතාන් වසන්තටත්,කමලා නැමැති කොටි ක්‍රියාකාරිනියටත්, වන සතුන්ගේ ද,සිය ග්‍රහණයට කමලා හසුකර ගැනීමට වෑයමක් දැරූ හමුදාවෙන් පලා ගිය පිරිසකගේ ද, තර්ජන වලට මුහුණ දීමට සිදු විය.නිරතුරුව පැවති බාහිර අනතුරු හමුවේ අන්‍යොන්‍ය සහජීවනයට බලකෙරුණු පරිසරයක් තුළ ඒ දෙදෙනා අතර එකිනෙකා කෙරෙහි පැවති අවිශ්වාසයත්,වයිරයත් පහ වී ගියේය.

ඉන් පසුව දැනගන්නට ලැබෙන අනපේක්ෂිත තොරතුරක් නිසා කොලඹට පැමිණෙන වසන්තට බරපතල ගැටළුවකට මුහුණ පෑමට සිදු විය.තමා තෝරා ගත යුත්තේ රට ද,එසේත් නැතිනම් මිතුරිය ද යන්න ඔහුට තීරණය කිරීමට සිදු විය.

(2003 වර්ශයේදී හොදම(ඉන්ග්‍රීසි )නව කතාවට පිරිනැමෙන රාජ්‍ය සම්මායනය දිනාගත් නිහාල් ද සිල්වා මහතා විසින් රචිත නම් නවකතාවෙහි සින්හල පරිවර්තනයෙනි.එය "අලිමන්කඩ සිට....." යන නමින් ඊ.එම්.ජී.එදිරිසින්හ විසින් සින්හලට පරිවර්තනය කෙරුනු අතර මෑත කාලයේදී සින්මාවට ද නැගුණි.)

3,උත්තරීතර ආදරය..........


ආදරය..........
අපි හැමෝම අහන්න කැමති වචනයක්.අපි කොයි කවුරුත් ව්න්දින්න කැමති සුන්දර අත්දැකීමක්!හැම කෙනෙක්ම නොවැරදීම වින්දලා තියෙන අත්දැකීමක්!මොකද අපි හැමෝම මව් කුසේ ඉන්න කාලෙදිම අම්මගෙ ආදරේ ලබනවා.එතනින් තමයි අපේ ජීවිත වල අපි අදරේ ලබන්න,වින්දින්න පටන්ගන්නෙ.
හැබැයි මේ කතා කරන්න යන්නෙ ඒ ආදරේ ගෙන නම් නෙවෙයි.අපි වයසින් වැඩෙනකොට අපි විසින්ම හොයාගෙන යන විරුද්ධ පාර්ෂවයෙන් ලබන ආදරේ ගැන.සමහරු නම් මේ ආදරේ හන්දුන්වන්නෙ "යොවුන් ආදරේ" කියල.ඒත් මට ඒකට එකග වෙන්න බෑ.මොකද ආදරේට වයස් සීමා නෑ.
නැත්තෙ නෑ.තියෙනවා.මම අදහස් කරේ ඒවා බලපාන්නෙ නෑ කියල.වයස විතරක් නෙවෙයි.වත් පොහොසත්කම,උගත්ම්කම,සමාජ තත්වය,ජාති,ආගම,උස් මිටිකම්,කලු සුදු භේද...... මේ කිසිම දෙයක් ආදරේදි වැදගත් නෑ.(මම මේ කතා කරන්නෙ හැබෑ ආදරේ ගැන.හරිද??නැතුව තාවකාලිකව ඇති වෙන ආකර්ශනය ගැන නෙවෙයි.ඒ දෙක පටලවාගන්න එපා.ගොඩක් දෙනෙක් කරන වැරද්දක් ඒක.)ආදරේ කියන්නෙ හදවතින්ම ඇති වෙන්න ඕනෙ හැගීමක්.ඒක කාටවත් බලෙන් ඇති කරන්නබෑ.ඒ වගේම එහෙම දෙයක් ඇති වෙන්නෙත්,අපේ හිත ගත් කෙනා කාගෙ කවුද,කොයි තරම් සල්ලි තියෙනවද,කීයෙ පන්තියට වෙනකම් ඉගෙනගෙන තියනවද කියල බලල නෙවේ."ආදරේ අන්ධයි" කියල කියන්නෙ ඒ නිසා වෙන්නැති.

හදවත් දෙකක් ආදරෙන් බැන්දෙන එක අමාරු දෙයක් නෙවේ.ඒත් එහෙම බැදුණු හදවත් දෙකක් ජීවිත කාලයක් නොබිදී පවත්වගන්න එක නම් ඒ තරම් ලේසි දෙයක් නෙවේ.දෙන්නෙක් ආදරෙන් බැදෙන්න ගතවෙන කාලෙට වඩා බොහෝම අඩු කාලයක් තමයි ඒ දෙන්නා දෙපැත්තකට වෙන්න ගත වෙන්නෙ.
එහෙනම්,අමාඅරුම දේ කෙනෙක් එක්ක ආදරේන් බැන්දෙන එක නෙවෙයි,ඒ ආදරයෙ කිසිම පළුද්දක් වෙන්න නොදී ආරක්ෂා කරන එක.
ඒක පුන්චි පැළයක් වගේ.හිටෙව්වට විතරක් මදි.හොදට රැක බලාගන්නත් ඕනෙ.වතුර දාලා,පෝර දාලා,සත්තුන්ගෙන් ආරක්ෂා කරලා සාත්තු කරන්න ඕන.එතකොටයි ටිකෙන් ටික දළු දාල වැඩිල මහා විශාල ගහක් බවට පත් වෙන්නෙ.ටික කාලෙකින් මල්,ඵල හටගන්නෙ.සතුට බෙදන තැනක් බවට පත් වෙන්නෙ.කවුරුහරි කෙනෙක්,එහෙම නැතුව පැළයක් පැල කරල ඔහේ බලන් හිටියොත් ටික දවසකින් ඒ ඇස් ඉදිරිපිටම ඒ පැලේ වියළිලා මැරිලා යාවි.


ආදරය නිදහස ගෙන එනවා.නිදහස නැත්තන් ඒක ආදරය නෙවෙයි.එතන තියෙන්නෙ බලපුළුවන්කාර කම ප්‍රදර්ශනය කිරීමක්.එහෙමත් නැත්නම් අනිත් පාර්ශවය යටත් කර ගැනීමක්.ඒක සැබෑ ආදරයක් විදිහට මම නම් දකින්නෙ නෑ.ආදරය කරන කෙනෙක්ව ඔබ කොහොමද යටත් කර ගන්නෙ??නමුත් ආදරයේ නාමයෙන් සිදුවෙන්නෙත් ඒකමයි.බොහෝ දෙනා හැම උත්සාහයක්ම ගන්නවා අනිත් කෙනාව තමන්ගෙම කාබන් කොපියක් කරගන්න.තමන්ට ඕන කරන විදිහට තමන්ගේ අදරවන්තයා/තිය වෙනස් කරගන්න.නමුත් අන්ශු මාත්‍රයක් වත් තමන් වෙනස් වෙන්නෙ නෑ.වෙනස් වෙන්න හිතන්නෙත් නෑ.ඒක සැබෑ ආදරය නෙවේ.මේ ලොකෙ තමන් වගේම,ඒ කියන්නෙ තමන්ට 100%ක්ම සමාන කෙනෙක් නම් කොහොමවත් හොයාගන්න බෑ.අඩුම ගානෙ නිවුන් සහෝදරයො වුණත් පොඩ්ඩක් හරි එකිනෙකාගෙන් වෙනස් වෙනවා.ඒ නිසා තමන් වගේම කෙනෙක් තමන්ගෙ සහකරු,සහකාරිය කරගන්න හිතන එක මෝඩකමක්.නමුත් යම් තරමකට හරි ගැලපෙන කෙනෙක් හොයාගන්න බැරි වෙන්නෙ නෑ.එතකොට ඉතුරු ටිකත් තමන්ගෙ විදිහට හදාගන්න යන එපා.ඒක අනුමත කරන්න බෑ.ආදරේ කියන්නේ අනිත් කෙනාගෙ දේවල් උදුරගන්න එක නෙවෙයි.තමන්ගෙ දේවල් පරිත්‍යාග කරන එකට.දෙපාර්ශවයම කතා කරලා එකගතවෙකට ඇවිත් යම් තරමකට වෙනස් වෙන්න ඕන.ඒක එක්තරා විදියක කැපවීමක්.කැප කිරීම් නැති තැනක ආදරයක් වැඩි කල් පවත්වගන්න අමාරුයි.
ආදරය රෝස මලක් තරමටම මටසිලිටුයි.ඔබ එයට අව්වෙ,වැස්සෙ,එහෙමත් නැතිනම් සුලගෙ නටන්න ඉඩ හරින්න.මුළු අකාසෙම තටු ගසලා පියාඹන්න පුලුවන් කුරුල්ලෙක් තමයි ආදරේ කියන්නෙ.ඔබට පුලුවන් ඔන කැමති නම් ඒ කුරුල්ලව අල්ලලා රත්තරනින් හදපු කූඩුවක දමලා තියන්න.ඔබ හිතනවා ඌ දැන් ඉස්සරටත් වඩා සතුටින් ඉන්නව කියල හිතන්න.මොකද??ඌ දාල ඉන්නෙ රත්තරන් කූඩුවකනෙ!ඒත් ඒ ඔබ හිතන විදිහ විතරයි.ඒ ඉන්නෙ අහස පුරා අත්තටු සලලා සතුටින් පියාඹලා ගිය කුරුල්ලා නෙවෙයි.ඔබ ඌව මරලා.උගේ අත්තටු ඔබ කපලා දාලා.උගේ නිදහස ඔබ උදුරගෙන,ඔබ කියයි ඔබ එහෙම කලේ ආදරේට කියලා.වැඩක් නෑ ඒ ඔබේ ආදරේ.වැඩක් නෑ ඔබේ රත්තරන් කූඩුව.ඒක ලස්සනට හදපු හිර ගෙයක්.
අන්න ඒ වගේ දේවල් අපි ආදරයෙදි කරන්නෙ.අහස විශාල නිසා අපිට ලොකු භයක් දැනෙනවා.අපිට තියෙන භය තමයි කුරුල්ලා ආපහු එන එකක් නෑ කියන එක.ඒ නිසා අපි රත්තරන් කූඩු හදගන්නවා.ඔබගෙ පාලයනය යටතේ ඌව තියාගන්න නම් ඔබට සිද්ධ වෙනවා ඌව කූඩු කරන්න.එහෙම තමයි ආදරය විවාහය බවට පත් වෙන්නෙ.ආදරය කියන්නෙ නිදහසේ පියා සලන කුරුල්ලෙක්.විවාහය කියන්නෙ රත්තරන් කූඩුවක ඉන්න කුරුල්ලෙක්,ඔබ එක දෙයක් කරලා තියෙනව.ඌට බෑ ඔබෙන් මිදෙන්න.ඌ හැමවෙලාවෙම ඔබේ.අදත්,හෙටත්,අනිද්දත්,ඌ ඔබේ......
ආදරය හරියට සුලග වගේ.ඒ හින්ද ගොඩාක් ආදරවන්තයො බයෙන් ඉන්නෙ.ඔබට එය නිපදවන්න බෑ.එය පැමිණෙන්නෙත් පිටවෙන්නෙත් අපිට ඕන විදිහට,අපිට ඕන වෙලාවවට නෙවෙයි.අපි නොහිතපු වෙලාවක ආව වගේම අපි බලාපොරොත්තු නොවුණු වෙලාවක ආපසු යන්නත් පුළුවන්.ඒක ස්වභාවික සිද්ධියක්!සුලග කියන්නෙ අමුත්තෙක්!එයාට ඉන්න ඕන කියල දැනෙනකන් ඔබ එක්ක ඉදලා යම් මොහොතක ඔබව හැර යාවි.මේක නිසයි මිනිස්සු භය.අයිති කරගන්න දන්ගලන්නෙ.සුලග ඇතුලෙ තබාගන්න ඕන නිසා මිනිස්සු දොරවල් ජනෙල් වසගන්නවා.ඒත් ඔබ දොර ජනෙල් වැහුවම පෙර තිබුණු සිසිලස නැතිව යනවා.ඒ පෙර තිබුණු සුලගම නෙවේ.එයට නිදහස අවශ්‍යයි.
යමෙක් ආදරය කල යුතුයි.නමුත් හෙට ගැන සිතීම හොද නෑ.අද පැවැත්ම ලස්සන නම් හෙට ඒක වඩාත් ලස්සන වේවි.ඔබේ විශ්වසය වැඩි වෙන්න,වැඩි වෙන්න පැවැත්ම ඔබට ත්‍යාගශීලී වෙනවා.සතුට,සොම්නස ඔබ වෙත ලගා වෙනවා.හෙටක් ගැන හිතන මිනිස්සුන්ට අදක් නෑ.ජීවිතයේ බලපොරොත්තු,සිහින,වුවමනා තුල සමහරු හෙටක් ගැන හීන මවනවා.නමුත් "අද" නිසා තමයි හෙටක් උපදින්නෙ.අදින් තමයි ඔබේ මුලු අනාගතේම තීරණය වෙන්නෙ.

ඔබ සීමා විරහිතව මුලු හදින්ම ආදරය කරන්න.එතකොට ඔබ හිතන එකක් නෑ බැදීම් ඇති කරගන්න.අනිත් කෙනාව යටත් කරගන්න.ඔබ ආදරය කරනවා නම් ඔබ අනෙකාගේ නිදහස විනාශ කරන්න තරම් නපුරු වෙන එකක් නෑ.ආදරය ගැන තියෙන එකම නිර්ණායකය තමයි කොන්දේසි විරහිතවම නිදහස ලබා දෙනව කියන එක.
ඔබට අවුරුදු 100ක් වයස වුණත් ඔබ "ආදරය" කියලා තේරුම් අරන් හිටපු දේ ආදරය නොවෙන්න පුළුවන්.ඒක මම කලින් කිව්ව වගේ යම් පටළැවිල්ලක් වෙන්නත් පුළුවන්.ඒක ජීව විද්‍යත්මක ආකර්ශණයක් වෙන්නත් පුළුවන්.නමුත් ආදරය නෙවෙයි.නිදහස තමයි ආදරය ගැන තියෙන එකම නිර්ණායකය.ආදරය මිනිස්සුන්ව තරුණ කරවනවා.ආදරය "වයස" ගැන දන්නෙ නෑ."මරණය" ගැන දන්නෙත් නෑ.ඔබ දිගටම ආදරය කරනවා නම්,ආදරය මරණින් පසුවත් පවතිනවා.ආදරය තමයි හිතන විදිහට ජීවිතයේ වටිනාම අත්දැකීම.


Tuesday, August 21, 2012

2.@ බොරැල්ල ( ආදරවන්තියන් දෙදෙනෙකුගේ සන්වේදී ආදර කතාවක්!)

බස් එකක් නැතිවුණාම මිනිස්සුන්ගෙ හිත් හතර අතේ යනවා වගේම මගේ ඇස් දෙකත් හතර අතේ ගිහින් නතර වුණේ දැක්කම හිත පිරෙන රූපයක් ගාව.ඇන්ගටම හිරවෙච්ච කලු ඩෙනිමක්,රතුපාට Blouse එකක්,ලස්සන Hand Bag එකක්,නවීන පන්නයේ අව් කණ්ණාඩි යුවලක්,අතේ දාගෙන ඉන්න Band කීපයක් ඇගේ රූපය ඔප් නන්වන්න ඉවහල් වුණ සාධක විදිහට පේන්න තිබුණා.මම එයාව දකිද්දිත් එයා හිටියේ Phone එක කනේ තියාගෙන මොන මොනවද කොන්දුරන ගමන්."ෂාහ්,කොයිතරම් ලස්ස්න කෙල්ලෙක්ද??".එයා දකින ඕනම කෙනෙක්ට එහෙම නොහිතුණොත් ලොකුම අවුලක්!එයගේ බෙල්ලෙ ඉන්දලා ලස්සනට පටන් ගත්ත Tatoo එකක් පිට දිගේ ඇන්දිලා තියෙනවා.මේ සියලු විලාසිතා හා ඇගේ හැසිරීම් නිසා මගේ සිතත් හරිම වේගවත් වුණා.මොකද,හැමදේකම මොනවා හරි බලාපොරොත්තුවක් අපි හිත් අයිනක තියාගෙන ඉන්නවා.එහෙම පාර දිහා බලාගෙන හිටපු ඈ එකාපාරටම අනිත් පැත්තා හැරුණා.එයා එකපාරටම දැක්කෙ මාව.මම හිනාවුණා.ඈ හිනාවුණේ නෑ.ඒත් ඒ මූණෙ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නව කියල නම් හොන්දටම පේන්න තිබුණා.එයාගෙ හිතේ බලාපොරොත්තුවක්... මගේ හිත ආයෙමත් ගැහෙන්න පටන් ගත්තා.'ඇත්තටම මේ කෙල්ලගෙ ලස්සන' කියලා මට තවත් හිතන්න වෙලාවක් හම්බුණේ නෑ.බොරැල්ල හන්දියෙන් හරවලා 103ක් ආවා.මගේ අවශ්‍යතාව වැදගත්ම වුණ හින්දා මම බස් එකට නැග්ගා.වැඩි සෙනගක් හිටියේ නැති බස් එකේ පිටිපස්ස Sheet එකෙන්ම මම ගිහින් වාඩි වුණා.ඒත් මම ආයිමත් අර තරුණිය දිහා බැලුවා.එයත් මම හිටපු බස් එකටම නැග්ගා.ඇගේ ලගින් ආපු විලවුන් සුවදට මගේ හිත කැලඹිලා.තවත් අදහස් ගොන්නක් හිතට ඇතුල් කරා වගේ තේරුණා.එයා වාඩි වුණෙත් මම හිටපු Sheet එකේම පොඩ්ඩක් එහාට වෙන්න. මගේ හිත ගැහෙන්න ගත්තා.ඒත් එක්කම ඩෙනිමක් සහ T-shirt එකක් ඇන්දගත්ත තවත් තරුණියක් බස් එකට නැගලා පෙර කී තරුණියත් මාත්න අතර තිබුණු ඉඩේ වාඩි වෙන්න හැදුවා.ඒත් පෙර කී තරුණිය ඒකට ඉඩ දුන්නෙ නෑ.
"හා,හා ඔයා මෙහාට එන්න".එහෙම කියලා එයා මගේ පැත්තට ඇවිල්ලා අනික් තරුණියට එහායින් වාඩි වෙන්න දුන්නා.මගේ හිත අවුල් වුණා.මගේ හිත අවුල් වුණා.පපුව ගැහෙන්න ගත්තා.මම කතා කරන්න පටන් ගන්නෙ කොහෙන්ද කියලා මම හිතුවා.

එයා අතින් අල්ලගත්තා......
මගේ නෙවේ.අනිත් තරුණියගෙ.ඒ පාර එයා කතා කරන්න පටන් ගත්තා.
"මම කොච්චර වෙලා බලන් හිට්යද ඔයා එයි කියලා?".එයා අනිත් තරුණියට ලන් වෙන ගමන් කිව්වා.

"අනේ Sorry Darling.මම late වුණේ Traffic තිබ්බ හින්දා.ඒකයි.

"ආ... ඒකද?මම හිතුවෙ ඔයාඅ ඊයෙ රෑ Call එකෙන් පස්සෙ මාත් එක්ක තරහ වුණා කියල."

"පිස්සු!ඔයා හිතුවෙ මම කොල්ලෙක් හින්දා ඔයත් එක්ක තරහාවෙලා අමතක කරයි කියලද??"

"හරි.ඒකට කමක් නෑ.අද ඔයා අපේ ගෙදර යමු."

"අනේ බෑ Dear.අද නම් කොහොමත්ම බෑ.මට පොඩි වැඩක් තියෙනවා."

"පොඩි වැඩක්?.... ඒ මොකක්ද ඒ පොඩි වැඩේ??මම නොදන්න වැඩත් දැන් ඔයාට තියෙනවා නේ??ඉස්සර නම් ඔයාට ඔහොම පොඩි පොඩි වැඩ තිබ්බෙ නෑ.ඒ හැමදේටම ගියේ මාත් එක්ක."

මුලින් කී තරුණිය ඇගේ යෙහෙළියට කියන්න වුණා.ඈ හිටියෙ දුකින්.ඇගේ යෙහෙළිය ඇයව අස්වසන්න කනට මොනවද හිමින් කෙන්දිරුවා.එයින් යම්තරමකට ඇය සැනසුනු බවක් පෙනුණාත් ඇය යාළුවගෙ අත තුරුලු කරගෙනම මෙහෙම කිව්ව.


"ඇයි ඔයාට මාත් එක්ක පැයක්,එකහමාරක් ඉන්න බැරි?.අම්මා නන්ගිව ඉස්කෝලෙන් ගන්න 12ට විතර යනවා.මම විතරයි ගෙදර ඉන්නෙ.ඔයාට මාත් එක්ක ඉන්න බැරි ඇයි කියන්න!අනේ ප්ලීස්!අපේ ගෙදර යන්.... මම ගොඩක් ආසාවෙන් හිටියෙ අද ඔයාව හම්බවෙන්න..... ඔයා එක්ක ඉන්න."
එහෙම කියපු එයා යාළුවගෙ උරහිසට එයාගෙ හිස බර කරගත්තා.එයාගෙ අත ඒ වෙනකොටත් එයාගෙ මිතුරියගෙ අත තද කරලා අල්ලගෙන උන්නා.මිතුරිය ආයිත් එයාගෙ කනට ලන්වෙලා මොන මොනවදෝ රහසින් කෙන්දිරුවා.ඒ කිව්ව දෙවල් වලින් එයා සැනසුනාද නැද්ද මම දන්නෙ නෑ.මම පොලිස් ගරාජ් එක ගාවින් බහිනකොටත් දෙන්න දෙන්නගෙ ආදරයට මැදිවුණ ගටළු නිරාකරණය කරමින් උන්න.ජීවිතය එහෙමයි....

බස් එකෙන් බැස්සට පස්සෙ එක පාරට ඔළුවට ආවේ"I Can't Think Straight"කියන Film එකේ Leyla සහ Tala කියන මිතුරියො දෙන්න.Film එකේ හැටියට මේ මිතුරියො දෙන්නත් බොහොම ආදරයෙන් සතුටින් ජීවිතය වින්දා.ඒත් එක් තරුණියකට නිවෙස් බලපෑම මත විවාහවෙන්න සිද්ද වුණා.ඒ කොහොම වුණත් අවසානෙ ඒ දෙන්නා ආයිත් එකතු වෙනවා.ඉතින් Leyla සහ Tala වගේ මේ ආදරවන්තියො දෙන්නටත් ගැටලු නිරාකරණය වෙලා ආදරෙ වින්දින්න ලැබේවායි කියලා පතමු.

ලෝකෙ කොහේවත් නීතියක් නෑ අදරය කරන්න ඕන තරුණයෙක් සහ තරුණියක් පමණයි කියලා.

කෙල්ලෙක් තවත් කෙල්ලෙක්ට ආදරය කිරීම ඇතුලෙ ඉතා පෞද්ගලික වූ මානුෂික ප්‍රශ්නයක් තියෙනව.අපේ තාරුණ්‍ය ඇතුළෙ අපිට පෙනෙන දේට වඩා නොපෙනෙන දේ බොහෝයි.

ජීවිතය එහෙමයි.... තාරුණ්‍ය ඇතුළෙ හැමදෙම විසිරිලා තියෙනව.ඒත් කෙනෙකුට තවත් කෙනෙක්ගෙ පෞද්ගලික ජීවීතයට ඇතුල්වෙන්න නම් කොහෙත්ම බැහැ











1.ආදරණීය සුදු නන්ගී වෙත ලියමි

"ආදර සුදු නන්ගී,



තාරකා පිපෙන්නට අර අදියි

මට ඔබගෙ නෙතු තරකා සිහි වෙයි.බොහෝ ඈතක සිට

මම අදත් අහස් අගාධය දෙස බලමි.

ඔබ පිපෙන්නට අර අදින්නේ අහස් විලේ අරවින්ද පොකුරුය.

තරකා නිවා දමා මම රාත්‍රියට අන්ඩගසමි.

ඒ අදුර,පාලුව,තනිකම,හුදකලාව මට හුරුය.පුරුදුය.

හිත කිලිපොලන මේ වියරු තනිකම වින්දින්නට පෙර සන්සාරයේත්

මා බොහෝ පවු පුරවන්නට ඇත.මේ ගෙවන්නේ ජීවිතයේ

මහ ගිරි දඹයි.මම කවුලුව වසා දමන්නට පරිසරයට

අත පොවමි.හාත්පස සීතල ඇන්ගිලි තුඩු රිදවයි.

වහින්නට ආසන්නය.මොහොතකින් දෙපත් කපාගෙන අක් වැහි ඇද

වැටෙනු ඇත.වැස්ස එදා තරම් සුන්දර නැත.

චමත්කාර නැත.මගේ කන්දුලින් සැදුනු මේඝ වලාව

ඉහිරෙන්නට ආසන්නය.ඇගේ පාමුල මුතු වරුසාවක් වූයේත්

මේ කන්දුලුමය.මුමුණමින් දැවටෙමින් ඔවුන් දොඩමලු වන්නට

ඇත්තේත් කන්දුලු සාගරයේමය.ඉතින් සුදු නන්ගි

මා හෙලූ සාගරයක් තරම් කන්දුලු ගන්ග ඔබ දනී නම්..........

ඔබේම ආදර කසුන්"