Thursday, October 25, 2012

15.මේ ඇයගේ කතාවයි! (අන්තර්ජාලයෙන් ඇසෙන තවත් එක් කදුළු කතාවක්) :(



මේ දිනවල මුලු ලෝකයේම අවධානයට ලක්වුණු ඇමැන්ඩා ටොඩ් නැමැති 15 හැවිරිදි කැනේඩියානු දැරියගේ සියදිවි නසා ගැනීම ගැන අන්තර්ජාලයේ පල වුණු පුවත් මේ වන විට ඔබේ ඇස ගැටී ඇති බවට නොඅනුමානයි.ඇය විසින් තම දිවි හානි කරගැනීමට මාසයකට පමණ පෙරදී you tube වෙබ් අඩවියට මුදා හරින ලද ඇගේ ජීවිත කථාව ඇතුලත් වීඩියෝ පටය මගේ නෙතට කදුලක් එක් කරන්නට සමත් වුනා.



ඔබ මෙතෙක් එය නරඹා නොමැති නම් මෙතනින් ගොස් නරඹන්න .ඇගේ කදුලු කතා ඇසීමට ඔබේ වටිනා කාලයෙන් විනාඩි 8ක් පමණක් වෙන් කරන්න.



"ඇගේ කතා පුවත Facebook වෙබ් අඩවියේ මම කියවූ ලෙසටම ඔබට ඉදිරිපත් කරන්නම්.මන්ද මගේ වචන වලින්ම එය ඔබට පැවසීමට තරම් මට ශක්තියක් නොමැති නිසා.

ඇමැන්ඩා... ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක්. මේ වයසේ අනෙක් දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට, පිරිසක් අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට, ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා. මෙතැනදි ඇයට "පිහිටට එන්නේ " අන්තර්ජාලය සහ සමාජ ජාලා වෙබ් අඩවි. ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුවෙනවා, හැඟුමන් හුවමාරු කරගන්නවා. යෞවනය... නැවුම් හැඟුමන් උතුරා යන යෞවනය... මේ බැඳීම් තව තවත් ලෙංගතුව රඳවන්නට ඇයට බලකළා... ඇය අන්තර්ජාලය ඔස්සේ පැමිණි සෙනෙහසට, මිත්‍රත්වය වැළඳ ගත්තා... ඒත්...

ඒත්... ඩිජිටල් මඟ ඔස්සේ පැමිණි, එක්තරා විකෘති මානසිකත්වයක් ඇති පුද්ගලයෙක් ඇයගේ සේයාරුවක් ගත්තේ වෙබ්කැම් එක ඔස්සේ. මේ දැරිවිගේ "තුණු සපුවේ" සේයාරුවක් ගත් ඔහු ඉන් පසු කළේ ඇයට බලපෑම් කිරීම. ඇගේ සේයාරුව ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් කළ බලපෑම අවසානයේ ඇයට දැන ගන්නට ලැබෙනවා ඇගේ ඒ සේයාරුව ප්‍රදේශයේ පුරා, ඇගේ පාසල් මිතුරන් අතරේ පවා බෙදාහැර ඇති බව. මේ දැනගත් තැන පටන් ඇය කියන පරිදි ඇයට මානසික අවපීඩනයක් ඇතිවී තිබෙනවා.

මේ අවාසනාවන්ත සිදුවීමේ ඊළඟ පියවර ඇය පාසලේ මිතුරන් අතරින් කොන්වීම. ඇයට කවුරුවත් නැහැ. අනෙක් මිතුරු මිතුරියන් සිනාවෙන්, සතුටින්, කෙළි දෙලෙන් ගත කරත්දි අය තනිවෙනවා. තනියම කොනකට වෙලා ඉන්න ඇය පාසලේ සතුටුම වෙලාව විවේකය, ඒත් ඇයට සතුටක් නැහැ. ඇය තනියම තමන්ගේ කෑම වේල කත්දි අනෙක් හැමෝම සතුටින් සිනාවෙන කන බොන හැටි අය දකිනවා. මිතුරන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේ වෙනස හඳුනාගන්නා දෙමාපියන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒත් ඇය සිතින් විඳවනවා."මට කවුරුත් නැහැ. මාව කොන්කරලා..." මේ විඳවීමට ඇය පිළිතුරක් සොයනවා. මත්පැන් සහ මත්කුඩු ඇයට පිළිතුරක් සේ පෙනෙනවා. ඔව්... ඇය ඒ පිහිට පතන්නේ "වෙන කරන්න දෙයක්, කියන්න කෙනෙක් නැති තැන". ඒත් විඳිවීමේ නිමාවක් නැහැ. තව තවත් වැඩිවනවා මිසක. ඇය හඩනවා. හැමෝගෙම උපහාසයට, රිදවීම් වලට කොන්කිරීමට ලක්වෙන ඇය පාසලින් තවත් පාසලකට මාරුවෙමින් මේ විඳවීමෙන් මිදෙන්නට උත්සාහ කරනවා.



ඇයට මේ විදියට මාරුවෙන පාසැලකින් ඇයට වඩා වයසින් වැඩිමහලු තරුණයෙකු හමුවෙනවා. ඔය අතරේ තමන්ට නොලැබෙන ආදරය ලැබුණායැයි දැනුන ඔහුගෙන් ඇය අතවරයට ලක්වෙනවා. අවසානයේ ඔහු තමන්ගේ කාරිය කරගෙන ඇයව ප්‍රතික්ෂේප කරනවා. ඒ පමණක් නොවෙයි ඔහුගේ ආදරවන්තිය ඇතුළු පාසලේ මිතුරන්ගේ උපහාසයට, රිදවීම්වලට ඇය ආයෙත් ලක්වෙනවා. අළුත් පාසලත් ඇයට අපායක් වෙනවා. "මම ලෝකයට විහිළුක් වෙලා.මට රිද්දන්නම, මගේ පස්සෙන්ම මේ රිදවුම් එනවා" අයට සිතෙනවා. ඇයට පෙනෙන උත්තරය පිළිගන්නට ඇය සූදානම්. යම් උපක්‍රම ගනිමින් ඇය සිය දිවි නසා ගන්නට තැත් දරනවා. ඒත් ඒ තැත් වරදින ඇයට ඊට පස්සේ සිදුවන්නේ නැවතත් පෙරටත් වඩා රිදවුම්, විඳවුම් විඳින්නට. "ඇයි මේ ලෝකයම මට රිදවන්නේ. මම සිතින් දැන් මැරිලා. මට මැරෙන්න ඕන." ඇගේ තීරණය. දෙවරක් ඒ තැත වරදින ඇයට තුන්වන වාරයේදී ඇය "බලාපොරොත්තු වූ" මිදීම ලැබෙනවා. ඉකුත් 10 වැනි දින ඇය ලොවින් සමුගන්නවා. ඒ තවත් සියදිවි නසා ගැනීමක් ලොවට එක් කරලා. අද ඇය මෙලොව නැහැ.

ඒත් අදට මාසයකට පමණ පෙර ඇය ලොවට ඊට වඩා වැදගත් දෙයක් එක් කළා. ඇය තමන් විඳිවූ විඳවීම්, කඳුළු කතාව, ඇත්ත කතාව වීඩියෝවක් බවට පත්කරලා තිබුණා. ඇය ඒ වීඩියෝවේ එක් තැනක මෙහෙම සඳහනක් කරනවා. "I can never get that photo back" ඔව්, ඔබ අන්තර්ජාලයට මුදාහරින ඡායාරූපයක් සදහටම ඉන් ඉවත් කරගැනීම ඔබට කළ නොහැකියි. මෙතැනින් පස්සේ ඔබ දකින්නේ ඒ වීඩියෝව. බලන්න... කළබල නැතිව බලන්න... විනාඩි අටක් පුරා දිවයන මේ වීඩියෝව පුළුවන් නම් දෙවරක් බලන්න. මුල් වර ඇය ලියා පෙන්වන කාරණා ටික කියවන්න. දෙවන වර ඇගේ මුහුණේ, කටේ, දෙතොල්වල වන වේදනාබර හැඟුම් දකින්න. ඔබ සංවේදී අයෙක් නම් නෙතට කඳුලක් නැඟෙනු නොඅනුමානයි. එය පාඩමක් !ඇමැන්ඩා ලොවට දුන් පාඩම ඔබ හඳුනගන්න. ලෝකය අපායක් වූ ඒ සුරංගනාවියට ඇහුම්කන් දෙන්න. ඔබ වටා ඇති සමාජය ගැන හිතන්න. facebook තුළ සිටින ඔබේ මිතුරියන් දැනුවත් කරන්න මෙය බෙදාගන්න. මොහොතකට නවතිමි. මනසින් වගේම මසැසින් ඒ වීඩියෝව ඔබට නිරාවරණය කරමින්..."

(උපුටා ගැනීම "ලොවෙත් නෑ "ෆේස්බුක්>පිටුවෙන්)

අද ඇය අපි අතර නෑ.ඇය විදි දුක් සමුදායෙන් මිදීමට ඇය තෝරාගන්නා ලද්දේ පහසුම මාර්ගය වූ දිවි නසා තොර කර ගැනීම.ඇයට නිසි මාර්ගය පෙන්වන්න,සැනසිලි වදනක් කියන්න,ඇගේ දුක තේරුම් ගන්න කවුරුත් ඉදලා නෑ.ඒත් දැන් ඇගේ මරණින් පස්සේ මුලු ලෝකයක් ඇය ගැන කතා කරන්වා.ජීවිතේටවත් ඇයව දැකලා නැති,ඇයව හදුනන්නේ නැති දෙනෝදහක් දෙනා ඇය වෙනුවෙන් කදුලු සලනවා,ඇයට හොදා ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවත්ව සිටිද්දි තමන් වෙනුවෙන් කතා කරන්න කවුරුවත්ම නොහිටියත් අද ඇය වෙනුවෙන් පෙනී හිටින්න මුලු ලෝකයක්ම පෙල සැදිල ඉන්නව.


ඒත් ඒ කිසි දේකින් ඇයට නැවත ජීවිතය ලබා දෙන්න බෑ.ඇය සදහටම ගිහින්.තමන්ගෙ අතින් සිදුවුණු එක පොඩි වැරැද්දක් නිසා ඇයට තමන්ගෙ ජීවිතෙන් වන්දි ගෙවන්න සිදු වුණා.ඈ වටා සිටි කුරිරු සමාජය තේරුම් නොගත් එක දෙයක් තිබුණ.ඒ තමයි ජීවිතේ යම් තැනක වැරදුණු පමණින් කිසිම කෙනෙක් අපරාධකාරයෙක් වෙන්නෙ නැති බව.එහෙම හන්වඩු ගහලා සමාජෙන් කොන්කිරීම නොකළ යුතු බව.ඒ වගේම මතක තියාගන්න!කවමදාවත් පිටතින් බලලා පුද්ගලයෙක්ව විනිශ්චය කරන්න යන්න එපා.එකම එක සිදුවීමක් හේතු කරගෙන යම්කෙනෙක් නරක කෙනෙක් කියල තීරණය කරන්න ඉක්මන් වෙන්න එපා.එදා ඔවුන් ඒ දේ වටහා ගත්තා නම් අදටත් ඇය ජීවතුන් අතර ඉදීවි.









මට අමාරුවෙන් හරි මේ පෝස්ට් එක ලියන්න හිතුණෙ ඒ ප්‍රවෘත්තිය අහලා මගේ හිතේ ඇතිවුණු සිතිවිලිත් එක්ක.මගේ අදහස් වලට අනිත් අය එකග වෙයිද නම් දන්නෙ නෑ!

මේ ගැන ඔයාලගෙ අදහසත් කොටලම යන්න!:(

Monday, October 22, 2012

14.මගේ පොඩි එකා.............

අද මම මේ ලෑස්ති වෙන්නෙ මගේ පොඩි එකා ගැන ලියන්න. :ඩී එයා තමයි මගේ පණ.මේ තරන් ආදරෙන් බලා ගන්න නිසා මගේ බ්ලොග් එකෙන් පොඩි ඉඩක් එයාටත් වෙන් නොකරොත් ඒක මදිකමක් කියල හිතුනා.ඒ නිසා එයාගෙ profile එක තමයි අද ඉදිරිපත් කරන්න යන්නෙ. :පී

නම:බඩී

වෙනත් නම්:චූටි(මම ආදරේට කත කරන්නෙ ඒ නමින් තමයි නිතරම වගේ),තඩියා(අපේ නගා තරහට කියන නම )

වයස:මාස 6ක් විතර

ස්ත්‍රී/පුරුෂ භාවය:පුරුෂ

ලිපිනය:අපේ ගෙදර ලිපිනෙම තමා ඉතින්

දෙමාපිය/භාරකරු:වෙන කවුද ඉතින් මමම තමා

වර්ණය:රත්තරන් පැහැයට හුරු කහ පාට

හැඩරුව:කකුල් දෙක සාපෙක්ෂව අත් දෙක ටිකක් කොටයි.කකුල් දෙකේ පතුල ටිකක් දිගයි.කන් දෙකත් දිගයි.

විශේෂ හැකියාවන්:ඉතාමත් කුඩා ශබ්දයක් වුව ග්‍රහණය කරගැනීමේ තියුණු ශ්‍රවනේන්ද්‍රිය ඇත,ඉතා විමසිලිමත්ය

දුර්වලතා:කතා කිරීමේ හැකියාවක් නැත(ගොළුය),කුඩා ශබ්දයකින් වුව බියට පත් වේ

ප්‍රියතම ආහාර:පරිප්පු(පිසින ලද),කැරට්,ගෝවා,පාන්,සුදු ළූනු(පොතු ),ක්ෂනික ආහාර(රසැති බිස්කට්,ටිපිටිප්,මාළුපිනි(නිර්මාන්ශ ),ආහ්,තව ෆ්‍රයිඩ් රයිස්(ඒවාට දාල තියෙන බිත්තර එහෙමත් කැවෙනවා ඉතින් නිර්මාන්ශ උනාට )

වෙනත් ආහාර:කන්කුන්,ගොටුකොළ,තණකොල,පොල්කොළ,උදුපියලිය,ඕනෑම මල් පැළයක්,කඩදාසි,රබර් සෙරෙප්පු,වයර්

ප්‍රියතම පානයන්:ජලය පමණි

ප්‍රියතම ක්‍රීඩා:උඩ පැනීම,දිවීම

විනෝදාන්ශ:කෑම,නිදා ගැනීම්,අලස ලෙස වැතිර සිටීම,බිම හෑරීම,සොයාගැනීමට අපහසු තැන්වල සැගවීම

ගැවසීමට ප්‍රිය කරන ස්ථාන:මගේ ඇද අසල,කුස්සිය,ගෙවත්ත

නරක චර්‍යාවන්:මා නිදා සිටින විට ඇද උඩට පැනීම,කෑම සුවද දැනුනු විට කෑම ඉල්ලා බත් පිගන් උඩට පැනීම,කුස්සියෙන් සුදු ළූනු හොරක්ම් කිරීම,රබර් සෙරෙප්පු කෑම,වයර් කපා දැමීම,වතුර කෝප්ප්යේ ඇති ජලය විසිරුවා දැමීම,මල් පැල විනාශ කිරීම,වැදගත් ලිපි ලේඛන ආහාරයට ගැනීම,ගේට්ටුවෙන් එලියට පැනීමට පුල පුලා බලා සිටීම.

වඩාත් ප්‍රිය කරන පුද්ගලයින්:මම,අපේ නගා,අපේ අම්මා

අකමැති පුද්ගලයින්:අපේ තාත්තා තමයි ඉතින්

ප්‍රධාන සතුරන්:ලේනා,බල්ලා



ඡායාරූප එකතුව:


මේ චූටිම කාලේ ගත්ත photos වගයක් ............











මේ ටිකක් ලොකු වෙලා .........






චූටියා learns to rock! :පී (මගේ පිස්සු වැඩ තමා ඉතින්)




රිද්දුවෙ නෑ හරිද?



මේ ඊයෙ අපෙ නගා ගත්ත එකක්........




Friday, October 19, 2012

13.ජීවිතය(The Life).......






"Life unfoortunately is
something that you can
lead once;mistakes
are often irrepairable"

(An extract from he short story 'The Happy Man' by somerset maugham.)


"ජීවිතය කියන්නේ,අවාසනාවකට වගේ,අපට එකම එක වාරයක් අත්විදින්න ලැබෙන දෙයක්.
අපට සිදුවන වැරදීම් බොහොම වෙලාවට,
කවදාවත් නිවැරදි කළ නොහැකියි............"

(සමසෙට් මෝම්ගේ 'ද හැපී මැන්' කෙටිකතාවෙනි)



"ඒක මොනතරම් ඇත්ත කියමනක්ද...........?"




Thursday, October 18, 2012

11. ඔබ මහළු වූ කල.............





දිවියේ සැදෑවට ලන් වී
දෙනෙත් නිදිබර වෙද්දී
උදයේ සීතලෙන් හැකිලී
තුෂාරයෙ ගිනි තපිද්දී

දෑතට අරගෙන මේ පොත
බලනු මැන පිටු පෙරළා
ගතවුණා කාලයක්
දිවිය ගතවී යද්දී

ඔබෙ දෙනෙත්වල පෙරදා
තිබුණා සුමුදු බැල්මක්
හැකිවේද එය සිහි කරන්නට
දක්නා විලස සිහිනයක්

කීදෙනෙක් පෙම් බදින්නට
ඇත්ද බොරුවට හෝ සැබෑවට
එහෙත් පෙම් බැදි අයෙකු සිටියා
මේ මිහිතලය මතුපිට

ඔබේ හද දෙවොලට
එහි රැදි ආත්මයටද
කලක් ඔහු පෙම් බැන්දා
සත්තකයි බොරු නොව සැබෑවට

ඈත කදුකරය සක් වළල්ල හැරපියා
තරු මඩල සොයා ඒ ආදරය ඉගිලී ගියා
දුක දැරිය නොහැකිව මුහුණ සගවා ගන්නෙමැයි
ආදරය කී බැව් සොවින් කොදුරනු මැනවි සොදුරිය.....









විලියම බට්ලර් යේට්ස්ගේ "WHEN YOU ARE OLD" නම් කාව්‍ය සන්කල්පනාවේ අනුවාදයකි.











10.මගේ උපන්දිනේ.....

හ්ම්ම්ම්......... සින්ඩරෙල්ලා දැන් ලොකු කෙල්ලෙක්.වැඩිහිටියෙක්. :පී පහුගිය සැප්තැම්බර් 29 වෙනිදා සින්ඩරෙල්ලා 19 වැනි උපන් දිනයත් සැමරුවා.අපේ බ්ලොග් දේශයේ යාලුවොන්ට නම් treat එකක් දෙන්න බැරි වුණා.ඒකට සමාවෙන්න ඕනේ කට්ටියම.කොහොමටත් කලින් උපන්දින වගේ මෙදා සැරේ වැඩි කල එළියක් තිබුනෙත් නෑ.මටත් ඒ ගැන වැඩි හැගීමක් තිබුණෙ නෑ.වෙන අවුරුදු වල නම් කලින් අවුරුද්දෙ උපන්දිනේ ඉවර වුණ දවසෙ ඉදලා මම කල්පනා කරන්නේ ලබන අවුරුද්දේ උපන් දිනේ ගැන.උපන්දිනේ සමරන විදිහ,යාලුවොන්ට දෙන treat එක,මට ලැබෙන තෑගි බෝග............. කල්පනා කරන්න දේවල් බොහොමයි.දවස ලන් වෙනකන් ඉන්නෙ ඇගිලි ගැන ගැන.ඒත් මේ පාර නම් දවස් දෙක තුනකට කලින් තමයි මතක් වුණෙත්.වෙනදා නම් ඉතින් ගෙදර අයගෙන්,යාලුවොන්ගෙන් තෑගි එහෙම නොලැබුනොත් හිතට දුකක් දැනෙනවා.ඒත් මේ පාර නම් ඒවා මතකවත් නෑ.හේතුව මටම හිතාගන්න බෑ.මාත් එක්ක එක පන්තියෙ ඉන්න යාලුවොන්ටයි,අනිත් පන්ති වල ඉන්න හොදම යාලුවොන්ටයි,ගුරුවරුන්ටයි උපන්දිනේ දවසට මොනව හරි දෙයක් දෙන එක මොන්ටිසෝරි යන කාලේ ඉදලම මගේ පුරුද්දක් වෙලා තිබුණා.උපන්දිනේ තියෙන්නෙ නිවාඩු දවසක නම් ඊලග දවසෙ ගෙනියනවා.ඉතින් අනිවාර්යයෙන්ම මොනවා ගෙනිච්චත් කෑලි 100ක් විතර ගෙනියන්න වෙනවා. :පී මේ පාර ඒක කරන්නත් විදිහක් නැති නිසා(ඉස්කොලේ යන්නෙ නෑනෙ දැන්) හිතට මොකද්ද වගේ.

හ්ම්ම්ම්.......... මම මේ බ්ලොග් එක ගැන ලියන්න හිතුවෙ මගේ උපන්දිනේ ගැන කියන්න නෙවෙයි.ඔයාලා හැමෝටම පොඩි පණිවිඩයක් දෙන්න.
උපන්දිනේ දවසෙම ඒ ගැන බ්ලොග් එකක් ලියන්න හිතාගෙන හිටියත් ඒකට කාලය හොයාගන්න අපහසු උනා.මොකද එදා වැඩ රාජකාරි ගොඩාක් බහුල වුණ නිසා.
අපි හැමොටම උපන්දිනයක් තියෙනවා.එක හැමොටම සුවිශේෂ දවසක්.අපි ඒ දවස සමරන්න නොයෙකුත් දේවල් කරනවා.ඒත් අර්ථවත් විදිහට උපන්දිනේ සමරන්නෙ බොහොම සුලු පිරිසක් විතරයි,අපි ගොඩක් දෙනෙක් කරන්නෙ ගොඩාක් සල්ලි වියදම් කරලා කාලා බීලා,එක්කො පාටි දාලා විනෝද වෙන එක.කන බොන එක,යාලු මිත්‍රයො,ගෙදර අය එක්ක විනෝද වෙන එක නරක දෙයක් නෙවෙයි.හැබයි ඒ වගේ විශේෂ දවසක් සමරන්න අපිට ඊට වඩා වටිනකමක් ඇති දෙයක් කරන්න බැරි ඇයි?

බෞද්ධයො ගොඩක් දෙනා තම්න්ගෙ උපන්දිනේ දවසට පන්සල් යන්න පුරුදු වෙලා තියෙනවා.පින් දහම් කරනවා.අපේ ගෙදර නම් ලොකු ආගමික පසුබිමක් නැති නිසා ඒ වගේ දෙයක් කරන්න පුරුදු වෙලා නෑ.හැබයි කවදාවත් උපන්දින සාද තියලත් නෑ.කේක් ගෙඩියක් කපලා බොහොම චාමේට පවුලෙ අයත් එක්ක උපන්දිනේ සමරන්න තමයි අපි පුරුදු වෙලා හිටියේ.

ඒත් මීට අවුරුදු හතර පහකට කලින් ඉදලා මගේ උපන්දිනේ දවසට වටින දෙයක් කරන්න ඕනේ කියලා මම තීරණය කළා.ඒක සිද්ද වුනෙත් අහම්බෙන් වගේ.

මට බාලදක්ෂිකාවක් විදිහට එකතරා පදක්කමක් ලබාගන්න මොකක් හරි service එකක් කරන්න නියම වෙලා තිබුනා.මට කරන්න තිබුණෙ සතියක කාලයක් මොකක් හරි ආයතනයකට(ළමා නිවාසයක්,වැඩීහිටි නිවාසයක්,රෝහලක්,සරණාගත කදවුරක්........ ගිහින් ඒකේ එදිනෙදා වැඩ කටයුතු වලට උදව් කරන එක.ඒ ආයතනයට අවශ්‍ය කරන දේවල් තියෙනව නම් ඒවා මගේ වියදමින් අරගෙන දෙන්නත් මට නියම වෙලා තිබුනා.(ගොඩක් මිල දේවල් නෙවෙයි.)

ඉතින් මමයි මගේ යාලුවයි තෝරගත්තේ ගාල්ල කිතුලම්පිටියෙ රුහුණු ළමා නිවාසය.ඒ මම මතක ඇති කාලෙක ළමා නිවාසෙකට ගිය පළමු වතාව.එතන හිටියෙ අවුරුදු 5ට අඩු පොඩි ළමයි විතරයි.ඒක මට විශාල ප්‍රීතියක් වුණා.මොකද මම පොඩි ලමයින්ට ගොඩක් ආසා කරපු නිසා.මම හැම වෙලේම හිත හිතා හිට්යේ අපේ අම්මට තවත් පොඩි එකෙක් දැන් ලබෙනවා නම් ෂෝයි කියල. :පී එතකොට මට එයාව වඩා ගන්න,බලාගන්න,හැමදේම කරන්න පුළුවන් නේ!
ඉතින් මුල දවසෙ ඉදන් හැම දවසෙම එහේ ගිහින් උදේ ඉදන් හවස් වෙනකන් වැඩ කරන්න අපි දෙන්නට සිද්ද වුනා.ඒ වගේම ගොඩක් දවස් වලට අපි දෙන්න පොඩි උන්ට කෑම බීමත් අරන් ගියා.උදේ ඇග හෝදලා,බුදුන් වැදලා දවස පටන් ගන්න තැන ඉදලා හවස ඇග හෝදලා බුදුන් වදින වෙලාවක වෙනකන්ම අපි on duty.

අපිත් හරිම ආසාවෙන් තමයි පොඩි උන් එක්ක ඒ කාලෙ ගත කරේ.එතෙක් ළමා නිවාස ගැන මගේ හිතේ තිබුනු වැරදි වැටහීම් එකෙන් එක නැති වෙලා ගියා.අම්මලා තාත්තල නැති දරුවො උනත් ලමා නිවාසෙ කට්ටිය හරි අපූරුවට හොදට ඒ පොඩි උන් ට්ක හදලා තිබුණා.සමහරවිට දෙමව්පියන් ඉන්න දරුවොන්ටත් වඩා ගුණ ධර්ම දන්න පොඩි උන් ටිකක් එයාලා හදලා තිබුනා.ඒ වගේම ලමා නිවාසෙ කාර්යය මණ්ඩලේ අය දරුවොන්ට සැර වැර කරන්නෙ නැතුව තමන්ගෙම ලමයි වගේ ගොඩක් ආදරෙන් බලා ගත්තු බවත් කියන්නම ඕනෙ.අම්මලා තාත්තලා නැති අනාථ ලමයි විතරක් නෙවේ,ආර්ථික අපහසුතා නිසා හදාගන්න බැරිකමට ලමා නිවාසෙට බාර දීපු පොඩි උනුත් හිටියා.

කෑම බීමෙන් වත්,සෙල්ලම් බඩු වලින් වත්,ඉගෙනීමෙන් වත් වෙන පහසුකම් වලින් වත් උන්ට කිසිම අඩුපාඩුවක් නෑ.හැම වේලම හොදට කන්න ලැබෙනවා.එක්කො කවුරුහරි දානයක් දෙනවා.එහෙම නැති දාට එතන උයලා කන්න දෙනවා.බුදුන් වදින්න ලොකු බුදු මැදුරක් තියෙනවා.උදේට ගුරුවරියක් ඇවිත් මොන්ටිසෝරියක් කරනවා.සෙල්ලම් කරන්න එක එක ලොකු සන්විධාන වලින් තෑගි දීපු නොයෙක් ජාතියෙ සෙල්ලම් බඩු තියෙනවා.සමහරවිට අපිට නැති,නොතිබුනු පහසුකම් පවා ඒ පොඩි උන්ට තියෙනවා.ඒත් ඔවුන්ට නොලැබුනු එක දෙයක් තියෙනවා.ඒක තමයි වටිනම දේ.
ඒ තමයි අම්ම කෙනෙක්ගෙ,තාත්තා කෙනෙක්ගෙ එහෙමත් නැතිනම් සහෝදර සහෝදරියකගෙ ආදරය.ම්න් කලින් කිව්ව වගේ එතන වැඩ කරන අය එයාලට ගොඩාක් ආදරෙයි තමයි.ඒත් පොඩි උන්ට ඕනා ආදරේ එයාලට දෙන්න කාර්යය මණ්ඩලයට පුලුවන්කමක් නෑ.මොකද එතන ඉන්න ලමයි විශාල පිරිසක් අතරින් හැම කෙනාටම වෙන වෙනම අවධානය යොමු කරන එක අසීරු නිසා.ඒක නිසා ඒ පොඩි උන් පිටින් යන අයට ගොඩක් එකතුයි.ආදරෙයි."අනේ අක්කේ මාව පොඩ්ඩක් වඩා ගන්නකො" එහෙමත් නැත්තම් "අනේ මට බත් කවන්නකෝ","සෙල්ලම් කරන්න එන්නකො" ....... ඔය වගේ අපෙන් කෙරෙන ඉල්ලීම් නිමක් නෑ.එයාලට නොලැබෙන ආදරේ එයාලා අපෙන් බලපොරොත්තු වෙනවා.


මමත් මගේ යෙහෙලියත් ඒ කාල පරිච්ඡේදය ගත කලේ හරිම සතුටින්.ඒ පොඩි කාලය ඇතුලත පොඩි පැටව් එක්ක ඉක්මනින්ම යාලු වෙන්නත් අපිට පුලුවන් වුණා.ඒ හිටපු හැම පොඩ්ඩෙක්ගෙම නම මට අදටත් හොදින් මතකයි.සේවා කාලය නිමා වුණත් එයාලා දාලා එන්න බැරි තරම් අපි එයාලට කිට්ටු වුණා.ඒත් ඉතින් හැමදාම ඒක කරන්නත් බෑනේ.ඉතින් දුකින් වුණත් පොඩි උන් ටිකට සමුදීලා අපිට එන්න සිද්ද වුණා.ඒත් අපි එතන ගතකරපු සුන්දර කාල වකවාවනු මතක් කරලා දෙන සේයා රූ කීපයක් අපි ගාව ඉතුරු කරගන්න අපිට පුලුවන් වුණා.(ඇත්තටම ලමා නිවාසෙ පාලිකාවගෙන් විශේෂ අවසරයක් අරන් තමයි ඡායාරූප ටික ගන්න පුලුවන් වුනේ.)

ඉතින් ඔහොම වැඩ කටයුතු නිමා වෙලා ගෙදර ඇවිත් ඉන්නකොට තම්යි මට මතක් වුනේ පොඩි යාලුවො ටික බලන්න ආයෙත් ගිහින් එන්න ඕනේ කියලා.එතකොට තමයි මට මතක් වුණේ මගේ උපන්දිනේ දවසට දානයක් බාරගත්තා නම් මට ආයෙත් ගිහින් එයාලව බලලා එන්න පුලුවන් කියලා.එඩා එහෙම පටන් ගත්ත වැඩපිළිවෙල තමයි මේ තාමත් කෙරීගෙන යන්නෙ.මම විතරක් නෙවෙයි ගෙදර අනිත් අයත් ඒකට එකතු වෙන්නෙ හරිම කැමත්තෙන්.හැමපාරම අර මාත් එක්ක service එකට ගිය මගේ හොදම යාලුවාවත් මම එක්ක යනවා දානේ දවසට.අපි හැමෝම ගොඩාක් සතුටු වෙන දවසක් ඒක.

මගේ තාත්තා සාමාන්‍යයෙන් ටිකක් තද හිතක් තියෙන කෙනෙක්.ආදරේ පිටතට නොපෙන්නන කෙනෙක්.ඒ වගෙම මූණ පුරා වැවුණු රැවුල නිසා පොඩි එවුන් අපේ තාත්තා ලගට යන්නත් බයයි.පොඩි එවුන් විතරක් නෙවෙයි මේ 18ත් පැනපු මගේ සමහර යාලු මිත්‍රයොත් බයයි. :පී ඒත් අර අම්මා තාත්තා නැති පොඩි උන්ට නම් ඒ ගැන වගක් වත් නෑ.වැඩිපුරම එකතුවෙන්නෙ තාත්තා වටේ.සමහරවිට එතන පිරිමි අය දකින්න අඩු නිසා වෙන්න ඇති.වඩාගන්න කියලා කරදර කර කර ඇගේ එල්ලෙනවා.ඔන්න එදාට තමයි අපිට තාත්තා පොඩි උන් හුරතල් කරන දුර්ලභ දර්ශනය දැකගන්න පුලුව්න් වෙන්නෙ.
ඇත්තටම ඒ පොඩි උන්ගෙ මූණු වලින් බේරෙන සතුට දැක්කම අපේ හිතත් පිරෙනවා.උන්ට ඕනේ අපි ගෙනියන රස මසවුලු නෙවෙයි.කාටහරි කියල ආදරෙන් බත් කටක් කවාගන්න,ඔලුව අතගාගන්න,ආදරෙන් කියන වචනයක් දෙකක් අහන්න............

කොහොමවුනත් මම එතන service එකට යනකොට හිටපු දරුවන්ගෙන් කීප දෙනෙක්ම මම ඊට මාස කීපයකට පස්සෙ බලන්න යනකොට හිටියෙ නෑ.දුල්ශාන්ට වයස අවුරුදු 6 පිරුනු නිසා එයාව අහන්ගම ලමා නිවාසෙකට මාරු කරලා යවලා තිබුණා ඉස්කොලෙ යවන්න ඕන නිසා.පුන්චි කවීෂව එයාගේ දෙමව්පියො අවිත් එක්කන් දින් තිබුණ.එතකොට මනුරව තවත් යුවලක් දරුකමට හදාගන්න ගෙනිහින් තිබුනා.ඔහොම මම යනකොට හැම අවුරුද්දෙම මුලින් හිටපු දරුවො කීප දෙනෙක් දකින්න හිටියෙ නෑ,ඒ වගෙම කලින් නොදැකපු පොඩි මූණු ටිකක් දකින්න ලැබුනා.
මේ පාර උපන්දිනේට යනකොට නම් තනිකරම අලුත් මූණු ටිකක් තමයි මම දැක්කෙ.පොඩි දුකකුත් දැනුනා.ඉස්සර හිටියටත් වඩා පොඩි වයසෙ උන්! :(
දැන් මගේ යාලුවො එතන නෑ කියල ඉතින් මම කරගෙන ගිය කටයුත්ත නවත්තන්නෙත් නෑ.මට පුලුවන් තාක් කල් ඒ කටයුත්ත කරගෙන යනවා.මුලින් ඒ කටයුත්තේ වටිනකමක් මට නොතේරුනාට දැන් මට තේරෙනවා ඒක කොයි තරම් ලොකු පිනක්ද කියලා.කන්න දෙන එකේ නෙවෙයි ඒ පින තියෙන්නෙ! ඒ ඊට එහා ගිය දෙයක්!හැබැයි අපි පින් තකා නෙවෙයි කුසල් රැස් කරන්න ඕනේ!නැතුව පින් ලබාගන්න එහෙම නෙවෙයි හොදේ! :ඩී

ඉතින් මමත් මගේ යාලුවොන්ට කියන්න ගියේ තමන්ගෙ උපන්දිනේ හරි වෙන මොකක් හරි විශේෂ දවසක් හරි යෙදුනම එදාට නිකන් කාලා බීලා පාටි දාලා නිකරුණේ සල්ලි නාස්ති කරන්නෙ නැතුව අවන්කවම තමන්ට තෘප්තිමත් වෙන්න පුලුවන් දෙයක් කරන්න.හිගන්නෙකුට කෑම එකක් අරන් දෙන්න,ලමා නිවාසෙකට වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න,අසරණ සතෙක්ට පිහිටක් වෙන්න,කන්න ටිකක් දෙන්න,මරණයට කැප වුණු ගවයෙක් නිදහස් කරන්න............ ඔය වගේ තව කෙනෙක් වෙනුවෙන් වැඩක් ඇති දෙයක් කරන්න අපි කාටත් පුලුවන්........ එහෙම වුණොත් කවදහරි දවසක ඒ කරපු දේවල් ඔයාලට සතුටින් මතක් කරන්න හැකියාව ලැබේවි. :)

එහෙනම් ඔන්න මම නවතිනවා.කාලෙකින් තමා post එකක් ලිව්වෙ.දැන් හිතට සතුටුයි. :)
අවසාන වශයෙන් ඔයාලට බලන්න මගේ පුන්චි යාලුවොන්ගෙ පින්තූර ටිකකුත් දාන්නම්.
(photos ටික නම් qaulity නෑ හොදේ.ගනන් ගන්න එපා.:ඩී)


ඔන්න අපේ පොඩ්ඩො ටික.............



















Tuesday, September 4, 2012

9.මා ඔබට ලියන වග නම්..........

මේ දවස් වල සින්ඩරෙල්ලා හිත රිදෙන සිදුවීම් ගොඩකට මුහුණ දුන්නා.ඉතින් ඔය දේවලුත් එක්ක රෑ ඇදට වෙලා කල්පනා කර කර ඉන්නකොට තමයි මේ කවි සිතුවිල්ලෙ මුල් පද පෙල සින්ඩරෙල්ලගෙ ඔලුවට ආවෙ.ඉතින් ටක් ගාලා කොලයක් අරන් එක කුරුටු ගාලා,මහ රෑම පෝස්ට් එකක් දැම්මා.කොහොමද කියලා කියවලම බලන්නකෝ!





මා ඔබෙයි
ඔබ මගෙයි
කියූ කාලය
නිමයි

මතකයන්
පොදි බැදන්
සමු ගන්න
අවසරයි

වරද කාගෙද
කොහෙද
කොතැනකද
සිත සොයයි

අහස් කුස
උසට මැවු
සිහින මාලිගා
නිමයි

ගෙවී යන
හැම මොහොත
පැතුවෙ නුඹෙ
සිනහවයි

සෝ සුසුම්
කදුළු බිදු
ඔබෙන් පිට
නොවෙන්නයි

ඔබ ළගම
දැවටෙමින්
කිව්වෙ
දියුණට මගයි

ඒ සියළු
දේ ඔබට
මොහොතකින්
අමතකයි

ඔබට මා
අමතකයි
දැන්
වෙනකෙකු පතයි

මට එය
කළ නොහැක
ඔබ මගේ
ජීවයයි

නැගෙයි සිත
වේදනා
වදන් හද
පාරනා

නෙතින්
කදුලැල් ගලා
සිහින සැම
බොද කලා

නැත මගෙන්
චෝදනා
පතන්නෙමි
වාසනා

ඇයට මේ
වේදනා
නොදෙනු මැන
කිසිදිනා.....





මෙම නිර්මාණය ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන ලද්දේ "Run on lines" නැමැති techinque එක බව කරුණාවෙන් සළකන්න!


Friday, August 31, 2012

8.යළි නිවැරදි කළ නොහැකි වරදකි එ‍ය.......... (දෙවන කොටස)

ඔන්න ඉතින් පොරොන්දු වුණ විදිහටම කතාවෙ ඉතුරු ටිකත් ලියන්නයි මේ ලෑස්තිය!මොකද සින්ඩරෙල්ලා පොරොන්දු අමතක කරන කෙනෙක් එහෙම නෙවෙයි!දැන් ටිකකට කළින් සින්ඩරෙල්ලාට පොඩි විරෝධතාවයක් ආවා ඊයේ ලියපු දෙයක් සම්බන්ධව.ඒ සිද්ධ වුණ වරදත් නිවැරදි කරලම ලියන්න පටන්ගන්නම්කෝ!
මම ඊයේ "අරයා" කියලා සදහන් කරපු කෙනගෙන් පොඩි නෝක්කාඩුවක් ආවා.
"ඔයා අරම අරයා,අරයා ගානකොට හරි නෑනෙ.ඒක කැතයි.ඒ නිසා ඒ වෙනුවට වෙන මොකක් හරි දාන්න කියල."
ඔන්න ඉතින් ඒ ඉල්ලීමත් සින්ඩරෙල්ලා බාරගත්තා.වෙන කාගෙවත් තව මොකුත් ඉල්ලීම් හෙම නෑනෙ?? :පී
මම එහෙනම් 'අරය" කියන තැනට "කුමාරයා" කියල Replace කරන්නම්කො.දැන් හරිනේ?? :)

ඔන්න ඊයෙ කියපු තැන ඉදලා පටන් ගන්නම්කො.

ටිකක් හවස් වෙනකම් ඉදලා එක ක්‍රියාත්මක කරන්න මාත් ලක ලෑස්ති වුණා.අම්මත් වැඩට ගිහින් නිසා යන්න වෙන්නෙ තනියම.අම්මා එන්න කළින් ගිහින් එන්නත් ඕනේ.ඉතින් ටක් ගාලා(ඇත්තටම එහෙම සද්දයක් ආවෙ නම් නෑ මට මතක විඩිහට ) හොදට ඇදගෙන කරගෙන මාත් පාරට බැස්ස.තනියම බස් එකක යන එක නම් මට මහ දෙයක් නෙවෙයි.ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් වුනෙ නැ.කොහොමහරි බස් එකක නැගලා විනාඩි 10කින් විතර කඩේටත් යාගත්තා.වීරයා වගේ ගියාට මොකද හිත ඇතුලෙ ලොකු බයකුත් තිබුණා.ඒ මදිවට එකක් පසුපස එකක් නැගුණු ප්‍රශ්න වැලකුත් තිබුණා.

"ගෙදර ගිහින් හොදට අහගන්න වෙයිද කන් දෙක පිරෙන්න??"

"රට මීයො ඔක්කොම ඉවර වෙලා තිබුනොත්?"

"මන් ගාව තියෙන සල්ලි මදි වුණොත්??"

"තාත්තා මේක දැනගත්තාම මොකක් කියයිද??"

"ඕකව අරන් කොහේ තියගන්නද?"


ඔය වගේ උත්තර නැති ප්‍රශ්න දහසක් හිතට ආවත් ම්න් ඒ ඔක්කොම අමතක කරල කඩේට ගොඩ වුණා.මොකද හිතේ තිබ්බ ආසාව ඔය හැම ප්‍රශ්නෙටම වැඩිය ලොකු වුණ නිසා.ඇත්තටම ම්න් මීයෙක් ගන්න යනකොටත් ඌව ගෙනාවට පස්සෙ කරන දේ ගැන මට කිසිම Plan එකක් තිබුනෙ නෑ.
ඒව හිතන්න බැරිය එකෙක් ගත්තායින් පස්සෙ."වෙන දෙයක් වෙච්චාවෙ!" කියලා හිතාගෙන ඇතුලටම ගියා.කඩේ ඇතුළටම වෙන්න හිටියෙ එක එක ජාතියේ "විසිතුරු මත්ස්‍ය" වර්ග.මාත් ඉතින් හැම වර්ගයකම නම සහ ඒවයෙ මිල ගණන් බලාගෙන බලාගෙන ගියා.(මොකද මාත් ඉස්සර මාළු හැදුවනේ )
"රටේ හැම දේම ගණන් යනකොට මාළුත් ඒ වේගෙන්ම ගණන් ගිහින්" කියලා මට ඒ වෙලේ හිතුණා.කඩේ ඇතුලේ සෑහෙන සෙනගක් ඉන්නවා.ඒ පොඩි ඉඩේ ඉන්නත් ඉඩ නැති තරම්.පොඩි සාධුලා (පොඩි සාධුලා කිව්වට පොඩිත් නෑ.මගේ වයසේම විතර ඇති.ඒ වගේම හැසිරුනෙත් කට ඇරල "සාධු" කියල කියන්න පුළුවන් විදිහට නෙවෙයි කියලයි මට හිතුණෙ.)වගයක් පොර කකා මාළු ගන්නවා.A/L tution ගිහින් එන ගමන්ද කොහේදො පොත්පත්,File ටිකත් අතේ තියාගෙන,classesවල කරන පුරුද්දටද කොහෙදෝ මටත් සද්දයක් දාලා හමුදුරුවො මාලු තෝරනවා.තව පැත්තක තවත් කොල්ලො දෙන්නෙක් මාලු වර්ග ගැන විස්තර අහනවා.
තව වයස අවුරුදු 12ක 13ක මල්ලි කෙනෙක් මාලු කෑම බෑග් එකකට දානවා."අනේ!පණ්ඩිතකමට තනියම ඇවිත් මම කරගත්ත මොඩකමක්!" මට එහෙම හිතුණා.

මට තිබුණු ලොකුම ප්‍රශ්නේ කඩේ හිටපු සෙනග අතරින් කවුද අයිතිකාරය කියලා හොයාගන්න එක.අහන්නත් බෑ ඉතින්.නෝන්ඩිනේ!ඕක අහන්න ගියොත් ඒ එක්කම තව පසු වදන් දෙක තුනක් අහගන්න වෙන බවත් මම දන්නවනෙ!
ඕන දෙයක් වෙද්දෙන් කියලා මාත් ලගම හිටපු කෙනාගෙන් ඇහුවා.

"රට මීයො ඉන්නවද?"

"නන්ගි,මම කඩේ එක්කෙනෙක් නෙවෙයි.අන්න අර මල්ලිගෙන් අහන්න."

අයියෝ!වස ලැජ්ජාව!කමක් නෑ!ඕකත් මොකක්ද අපි වෙලා තියන ලැජ්ජාවල් වල හැටියට!මම හිතට දිරිය අරන් ආයෙමත් අහුවා,අර පොඩි එකාගෙන්!

"මල්ලි,රට මීයො ඉන්නවද??"

"ආ..... රට මීයො නම් ඉවරයිනේ!"

මගේ හිත කඩා වැටුණා.ඒ වුණත් කමක් නෑ.ආයෙත් දවසක් ඇවිත් ගන්න පුලුවන් නේ!ඒ හින්ද අද විස්තර අහන් යනවා!ඉතින් මාත් මගේ දුක නොපෙන්වා ඇහුවා.

"ඇත්තද?එයින් එකෙක් කීයක් වෙනවද??"

"650යි"

"ඔයාලා උන්ව කොළඹින් ගේනවද?නැත්තන්................"

"ඔව්,එහෙන් ගේනවා"

"ම්ම්ම්............ ලගකදි ආයේ ගේන එකක් නැද්ද??"

"එහෙම නම් කියන්න දන්නෙ නෑ.කඩේ අයියත් පොඩ්ඩ්ක් ලගට ගිහින්.එයාගෙන් තමා අහන්න වෙන්නෙ ආවාම "

"හපෝයි!මට වෙච්චි දෙයක්!මදැයි පෙරුම් පුරලා පුරලා ආවා රට මීයෙක් ගන්න!දැන් ඉතින් ඉදපන්කො මේ කොහේවත් නැති අයියෙක් එනකන්."
මට දැන් ඉවසුම් නෑ.

කොහොමහරි ඔය දෙබස් ටික යන අතරතුරේ කඩේ හිටපු ඔක්කොම කට්ටිය තම තමන් ගන්න ආපු දේවල් අරන් යන්න ගිහින් තිබුනා.ඒක මට කියලවත් කරගන්න බැරි තරමේ උදව්වක් වුණා.(කඩේ හිටපු සෙනග අතරින් කෙනෙක් කැමැත්තෙන්ම මීයෙක් විදිහට අපේ ගෙදර එන්නත් ඇහුවා.එයාට නැට්ට විතරයිලු අඩු! )

ඒ වෙනකොට කඩේ වෙන කවුරුත් හිටියෙත් නැති නිසා මට නිදහසේ කඩේ පුරාම ඇවිදලා බලන්න ඉඩක් ලැබුණා
මාත් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න හිතාගෙන කඩේ වටේම අවිදගෙන ගියා.
මම කඩේට අතුළු වෙනකොට දොර වහගෙන සෙනග හිටපු නිසා එතනම තිබුණු කුරුළු කූඩු මට මග ඇරිලා තිබුනා.ඒවයේ හිටියා පාට පාට මම ඒ තරම් කල් දැකල තිබුණු,නොතිබුණු කුරුළු වර්ග ගොඩාක්.
ඒත් ඉතින් මොකටද?මට ඔන දේ නැතුව!

ඕන්න එතකොටයි මම දැක්කෙ!
මොකද්ද දන්නවද?
සුදුම සුදු පුළුන් බෝල වගෙ හා පැටවු වගයක් එහ පැත්තෙ කූඩුවක දාල හිටියා.
දැක්කම ආසාවේ බෑ.!
මම එතනම කූඩුව ළග පහත් වුණා.එතකොට තව ටිකක් හොදට බලාගන්න පුලුවන් වෙන හින්දා.
සුදුම සුදු හා පැටව් එක පොදියට වැතිරිලා ඉන්නවා.සුදුම සුදු උනත් උන්ගේ ඇස් රතුම රතු පාටයි.ඒක උන්ගේ පෙනුමට එකතු කරේ නපුරුබවක්.ඒ හින්ද සුදු හාවොන්ට නම් මගේ කැමැත්තක් නෑ.
ආ......... පොඩ්ඩක් ඉන්න!
අර කවුද??
රත්තරන් පාටට හුරු කහ පාට බෝල දෙකකුත් ඒ අස්සෙම ඉන්නවා.
මම හොදට බැලුවා.
දෙවියනේ!කහ පාට හාවො දෙන්නෙක්!
මම ඒ මගේ ජීවිතේට කහ පාට හාවෙක් දැක්කමයි!
මට හරිම ආසහිතුණ උන් හිටපු විදිහට.
අනික උන්ගෙ ඇස් දෙකත් කලු පාටයි.බලන්න ලස්සනයි.

මේ තරම් මහන්සි වෙලා ආපු එකේ හිස් අතින් යන්න මගේ හිත ලෑස්ති නෑ.
මම ගන්නවා මෙයින් හාවෙක්.මීයා මොකද?හාවා මොකද?පොඩ්ඩක් කන් දෙක දිගයි ඊට වඩා.තව නැට්ටක් තියෙනව.එච්චරයිනෙ වෙනස!අනික රට මීයාට වඩා මේකා Sweet වගේ!
මටත් දැන් හරීම සතුටුයි.හිතන් ආවටත් වඩා ලස්සන සතෙක් මට හම්බුණා.

මම මගේ ක්ෂනික තීරණය ඉක්මණටම කුමාරයටත් එකක් දීලා දැන්නුව.

"මේ,මාර වැඩේනෙ!රට මීයො නෑනෙ!ඉවර වෙලා.ආයේ ගේන දවසක් කියන්නත් බෑලු!"මම බොහොම දුකින් කිව්වා.

"අනෙ!ඇත්තද?දැන් මොකද කරන්නෙ?මමත් හරි අසාවෙන් හිටියෙ ඔයා එකෙක් අරන් එනකන්.අපරාදෙ!ඔයා ආසාවන් ආපු එකනෙ!හාවො ඉන්නවද?එහෙනුම් හාවෙක් ගන්න.කොහොමත් ඔය මීයොන්ගෙන් ලෙඩ එහෙමත් හැදෙනවද දන්නෙත් නෑනෙ!

"සුදු පාටයි,කහ පාටයි තමයි ඉන්නෙ.මොන පාටද ගන්නෙ?"

"කහ පාට??මම නම් දැකලම නෑ!සුදු අය ලස්සනයිනෙ.එකෙක් ගන්න"

"අනේ!උන්ගෙ ඇස් රතු පාටයිනෙ!බය හිතෙනවා!මම ආස නෑ! කහ පාට අය නම් ලස්සනයි.ආස හිතෙනවා."

"ඔයා අස නම් කහ පාට එකෙක් ගන්න.ලස්සන ඇති.මාත් කහ පාට අය දැකලම නෑ.බලන්න ආසයි මටත්!"
(කුමාරයගෙ ගෙදරත් කලුයි සුදුයි හාවො දෙන්නෙක්ම ඉන්න නිසා තමයි හාවො සම්බන්ධව කුමාරයගෙ උපදෙස් පැතුවේ)

කහ පාට හා පැටව් වගයක් නම් ඉන්නවා! ඔහොම තමයි ඒ කතා බහ.අන්තිමේ අපි සාමූහික තීරණයකට එළඹුන කහ පාට හා පැටියෙක් ගන්න රට මීයා වෙනුවට.

"මේ හාවෙක් කීයද??"

"600යි"

ජෝඩුවක් ගන්න නම් ගෙනිච්ච සල්ලි මදි.මගේ අතේ ඒ වෙලාවෙ අරන් ගිහින් තිබුණෙ 1000යි.

"මල්ලී,මට එහෙනම් මේ හා පැටියෙක් දෙන්නකෝ.මේ කහ පාට එකෙක් හරිද?"

කොයි එකාද ඕනෙ කියල පෙන්නනකෝ මෙතනට ඇවිත්"

"මෙන්න මෙයා"

මම එතන හිටපු හුරතල්ම හා පැටියට අත දික්කරන ගමන් කිව්වා.

මල්ලිත් කූඩුව ඇතුලට අත දාලා මම පෙන්නපු පැටියව එලියට ගත්තා.ඌත් වැඩි කලබලයක් නොකරම එලියට ආවා.

"පෙට්ටියක දාලා දෙනවා නේද?"

"ඔව්,දාලා දෙන්නම්.ගොඩක් දුර යන්න තියෙනවද?"

"අහවල් තැනට"

"වාහනේකද යන්නෙ?"

"නෑ,බස් එකේ."(ඇයි බස් එක වාහනයක් නෙවෙයිද?)

කොහොමහරි ඉතින් මල්ලිත් අර හා පැටියා අල්ලලා පෙට්ටියක දාලා ඒකෙ හිල් විදලා හොදට තියලා මගේ අතට දුන්නා.

මාත් ඉතින් ගණුදෙනු බේරලා කරලා පාරට බැස්සා හරිම සතුටින්.ලස්සනම ලස්සන හා පැටියෙක් දැන් මගේ!ඉක්මණටම ගිහින් බස් එකක් එනකන් ඉදල නැග ගත්තා.හොද වෙලාවට නගින තැනම Seat හිස් එකක් තිබුණා.මාත් ටක් ගාල එතනින් වාඩි වුණා.පරිස්සම්න් පෙට්ටියත් අල්ලගෙන.බස් එක යන වේගෙට හාවට කරකැවිල්ල හැදෙයිද දන්නෑ.
මම ඉතින් සැරින් සැරේ පෙට්ටිය ඇතුලට ඇහැ දාලා ඌ හොදින්ද කියලත් විපරම් කරනවා.මට පිටිපස්සෙ එකේ හිට්යෙ කවුදෝ ගෑණු කට්ටියක්.මෙයාලත් දැන් මගේ දිහා බලාගෙන ඉන්නවා හොදට.එයාලට ඉවසිල්ලක් නෑ පෙට්ටිය ඇතුලෙ මොකෙක්ද ඉන්නෙ කියලා දැනගන්නකම්.
මට දැන් ඇහෙනවා එයාලා එයාලා කතා වෙනවා. :පී
ඔන්න කවුද මට තට්ටුවක් දැම්මා.
වැඩේ හරි!
මෙයාලා දැන් ලෑස්ති වෙන්නෙ සහසුද්දෙන්ම පෙට්ටිය ඇතුලෙ ඉන්නෙ මොකෙක්ද කියලා දැන ගන්න.

"නන්ගි,පෙට්ටිය අතුලෙ ඉන්නෙ සතෙක් නෙද?මොකෙක්ද?"
(නන්ගි?අනේ දෙයියන්ටම පේන්න ඕනා.මම එකපාරටම අවුරුදු 15කින් 20කින් විතර වයසට ගිය හැටි.)

"බලු පැටියෙක් නේද?" එක්කෙනෙක් පැනපු ගමන් අහුවා!

"නෑ!පූස් පැටියෙක්!" ඒ තවත් කෙනෙක්.

"නෑ.මම හිතන්නෙ නම් හාවෙක් වෙන්න ඇති." ඒ තුන්වැන්නා.

"ඔව්,ඔව්.හා පැටියෙක් තමයි." මම කිව්වා.

"සුදු පාටද?"

"නෑ,කහ පාටයි!"

"අනේ!ඒකනෙ මම කිව්වෙ නැද්ද කලින්ම.අනේ කො පෙන්නන්නකො චුට්ටක්!"

මේ දන් පෙට්ටිය ඇරලා හාවා එලියට පැන්නොත්!එහෙම කියලත් බෑනෙ ඉතින්.කට්ටියගෙම ආසවනෙ.මමත් ඉතින් පෙට්ටිය කෙලවරින් චූට්ටක් ඇරල කට්ටියටම පෙන්නුවා.

"ආනේ!චූටි එකෙක්!"

"කහ පාටයි"

හරිම ලස්සනයි"

කට්ටියගෙන්ම උපරිම ප්‍රෙක්ෂක ප්‍රතිචාර!
මටත් ඉතින් හෙනම සතුටුයි.!

කොහොමින් කොහොම හරි බහින තැනත් ලන් වුණා.
මාත් පරිස්සමට පෙට්ටිය අල්ලගෙන,හෙලවෙන්න නොදී බස් එකෙන් බැස්ස.
පයින් යන්න තියෙන ටික දුරත් හිමින් හිමින් ආවා පය පැටලිලා වැටෙයි කියලා තියෙන බයට.

කොහොමහරි ගෙදරටම ආවා!


හ්ම්ම්හ්!අදත් ගොඩාක් වෙලා කතාව කිව්වා.තාම දවල්ට කෑවෙත් නෑ.දැන් බඩත්ගිනියි!එකදිගට කියවනකොට එපා වෙනවත්නෙ.ඉතින් ඉතුරු ටික අනිත් දවසෙ කියන්නම්.කතාව ටිකක් දිග නිසයි කොටස් වශයෙන් ලියන්නෙ.ඒකට සමා වෙන්ඩ ඕනා!මගේ හා පැටියට ගෙදරින් ලැබුණු Comments ගැන ලියන ඊලග කොටස ලගදිම බලාපොරොත්තු වන්න!