Thursday, October 18, 2012

10.මගේ උපන්දිනේ.....

හ්ම්ම්ම්......... සින්ඩරෙල්ලා දැන් ලොකු කෙල්ලෙක්.වැඩිහිටියෙක්. :පී පහුගිය සැප්තැම්බර් 29 වෙනිදා සින්ඩරෙල්ලා 19 වැනි උපන් දිනයත් සැමරුවා.අපේ බ්ලොග් දේශයේ යාලුවොන්ට නම් treat එකක් දෙන්න බැරි වුණා.ඒකට සමාවෙන්න ඕනේ කට්ටියම.කොහොමටත් කලින් උපන්දින වගේ මෙදා සැරේ වැඩි කල එළියක් තිබුනෙත් නෑ.මටත් ඒ ගැන වැඩි හැගීමක් තිබුණෙ නෑ.වෙන අවුරුදු වල නම් කලින් අවුරුද්දෙ උපන්දිනේ ඉවර වුණ දවසෙ ඉදලා මම කල්පනා කරන්නේ ලබන අවුරුද්දේ උපන් දිනේ ගැන.උපන්දිනේ සමරන විදිහ,යාලුවොන්ට දෙන treat එක,මට ලැබෙන තෑගි බෝග............. කල්පනා කරන්න දේවල් බොහොමයි.දවස ලන් වෙනකන් ඉන්නෙ ඇගිලි ගැන ගැන.ඒත් මේ පාර නම් දවස් දෙක තුනකට කලින් තමයි මතක් වුණෙත්.වෙනදා නම් ඉතින් ගෙදර අයගෙන්,යාලුවොන්ගෙන් තෑගි එහෙම නොලැබුනොත් හිතට දුකක් දැනෙනවා.ඒත් මේ පාර නම් ඒවා මතකවත් නෑ.හේතුව මටම හිතාගන්න බෑ.මාත් එක්ක එක පන්තියෙ ඉන්න යාලුවොන්ටයි,අනිත් පන්ති වල ඉන්න හොදම යාලුවොන්ටයි,ගුරුවරුන්ටයි උපන්දිනේ දවසට මොනව හරි දෙයක් දෙන එක මොන්ටිසෝරි යන කාලේ ඉදලම මගේ පුරුද්දක් වෙලා තිබුණා.උපන්දිනේ තියෙන්නෙ නිවාඩු දවසක නම් ඊලග දවසෙ ගෙනියනවා.ඉතින් අනිවාර්යයෙන්ම මොනවා ගෙනිච්චත් කෑලි 100ක් විතර ගෙනියන්න වෙනවා. :පී මේ පාර ඒක කරන්නත් විදිහක් නැති නිසා(ඉස්කොලේ යන්නෙ නෑනෙ දැන්) හිතට මොකද්ද වගේ.

හ්ම්ම්ම්.......... මම මේ බ්ලොග් එක ගැන ලියන්න හිතුවෙ මගේ උපන්දිනේ ගැන කියන්න නෙවෙයි.ඔයාලා හැමෝටම පොඩි පණිවිඩයක් දෙන්න.
උපන්දිනේ දවසෙම ඒ ගැන බ්ලොග් එකක් ලියන්න හිතාගෙන හිටියත් ඒකට කාලය හොයාගන්න අපහසු උනා.මොකද එදා වැඩ රාජකාරි ගොඩාක් බහුල වුණ නිසා.
අපි හැමොටම උපන්දිනයක් තියෙනවා.එක හැමොටම සුවිශේෂ දවසක්.අපි ඒ දවස සමරන්න නොයෙකුත් දේවල් කරනවා.ඒත් අර්ථවත් විදිහට උපන්දිනේ සමරන්නෙ බොහොම සුලු පිරිසක් විතරයි,අපි ගොඩක් දෙනෙක් කරන්නෙ ගොඩාක් සල්ලි වියදම් කරලා කාලා බීලා,එක්කො පාටි දාලා විනෝද වෙන එක.කන බොන එක,යාලු මිත්‍රයො,ගෙදර අය එක්ක විනෝද වෙන එක නරක දෙයක් නෙවෙයි.හැබයි ඒ වගේ විශේෂ දවසක් සමරන්න අපිට ඊට වඩා වටිනකමක් ඇති දෙයක් කරන්න බැරි ඇයි?

බෞද්ධයො ගොඩක් දෙනා තම්න්ගෙ උපන්දිනේ දවසට පන්සල් යන්න පුරුදු වෙලා තියෙනවා.පින් දහම් කරනවා.අපේ ගෙදර නම් ලොකු ආගමික පසුබිමක් නැති නිසා ඒ වගේ දෙයක් කරන්න පුරුදු වෙලා නෑ.හැබයි කවදාවත් උපන්දින සාද තියලත් නෑ.කේක් ගෙඩියක් කපලා බොහොම චාමේට පවුලෙ අයත් එක්ක උපන්දිනේ සමරන්න තමයි අපි පුරුදු වෙලා හිටියේ.

ඒත් මීට අවුරුදු හතර පහකට කලින් ඉදලා මගේ උපන්දිනේ දවසට වටින දෙයක් කරන්න ඕනේ කියලා මම තීරණය කළා.ඒක සිද්ද වුනෙත් අහම්බෙන් වගේ.

මට බාලදක්ෂිකාවක් විදිහට එකතරා පදක්කමක් ලබාගන්න මොකක් හරි service එකක් කරන්න නියම වෙලා තිබුනා.මට කරන්න තිබුණෙ සතියක කාලයක් මොකක් හරි ආයතනයකට(ළමා නිවාසයක්,වැඩීහිටි නිවාසයක්,රෝහලක්,සරණාගත කදවුරක්........ ගිහින් ඒකේ එදිනෙදා වැඩ කටයුතු වලට උදව් කරන එක.ඒ ආයතනයට අවශ්‍ය කරන දේවල් තියෙනව නම් ඒවා මගේ වියදමින් අරගෙන දෙන්නත් මට නියම වෙලා තිබුනා.(ගොඩක් මිල දේවල් නෙවෙයි.)

ඉතින් මමයි මගේ යාලුවයි තෝරගත්තේ ගාල්ල කිතුලම්පිටියෙ රුහුණු ළමා නිවාසය.ඒ මම මතක ඇති කාලෙක ළමා නිවාසෙකට ගිය පළමු වතාව.එතන හිටියෙ අවුරුදු 5ට අඩු පොඩි ළමයි විතරයි.ඒක මට විශාල ප්‍රීතියක් වුණා.මොකද මම පොඩි ලමයින්ට ගොඩක් ආසා කරපු නිසා.මම හැම වෙලේම හිත හිතා හිට්යේ අපේ අම්මට තවත් පොඩි එකෙක් දැන් ලබෙනවා නම් ෂෝයි කියල. :පී එතකොට මට එයාව වඩා ගන්න,බලාගන්න,හැමදේම කරන්න පුළුවන් නේ!
ඉතින් මුල දවසෙ ඉදන් හැම දවසෙම එහේ ගිහින් උදේ ඉදන් හවස් වෙනකන් වැඩ කරන්න අපි දෙන්නට සිද්ද වුනා.ඒ වගේම ගොඩක් දවස් වලට අපි දෙන්න පොඩි උන්ට කෑම බීමත් අරන් ගියා.උදේ ඇග හෝදලා,බුදුන් වැදලා දවස පටන් ගන්න තැන ඉදලා හවස ඇග හෝදලා බුදුන් වදින වෙලාවක වෙනකන්ම අපි on duty.

අපිත් හරිම ආසාවෙන් තමයි පොඩි උන් එක්ක ඒ කාලෙ ගත කරේ.එතෙක් ළමා නිවාස ගැන මගේ හිතේ තිබුනු වැරදි වැටහීම් එකෙන් එක නැති වෙලා ගියා.අම්මලා තාත්තල නැති දරුවො උනත් ලමා නිවාසෙ කට්ටිය හරි අපූරුවට හොදට ඒ පොඩි උන් ට්ක හදලා තිබුණා.සමහරවිට දෙමව්පියන් ඉන්න දරුවොන්ටත් වඩා ගුණ ධර්ම දන්න පොඩි උන් ටිකක් එයාලා හදලා තිබුනා.ඒ වගේම ලමා නිවාසෙ කාර්යය මණ්ඩලේ අය දරුවොන්ට සැර වැර කරන්නෙ නැතුව තමන්ගෙම ලමයි වගේ ගොඩක් ආදරෙන් බලා ගත්තු බවත් කියන්නම ඕනෙ.අම්මලා තාත්තලා නැති අනාථ ලමයි විතරක් නෙවේ,ආර්ථික අපහසුතා නිසා හදාගන්න බැරිකමට ලමා නිවාසෙට බාර දීපු පොඩි උනුත් හිටියා.

කෑම බීමෙන් වත්,සෙල්ලම් බඩු වලින් වත්,ඉගෙනීමෙන් වත් වෙන පහසුකම් වලින් වත් උන්ට කිසිම අඩුපාඩුවක් නෑ.හැම වේලම හොදට කන්න ලැබෙනවා.එක්කො කවුරුහරි දානයක් දෙනවා.එහෙම නැති දාට එතන උයලා කන්න දෙනවා.බුදුන් වදින්න ලොකු බුදු මැදුරක් තියෙනවා.උදේට ගුරුවරියක් ඇවිත් මොන්ටිසෝරියක් කරනවා.සෙල්ලම් කරන්න එක එක ලොකු සන්විධාන වලින් තෑගි දීපු නොයෙක් ජාතියෙ සෙල්ලම් බඩු තියෙනවා.සමහරවිට අපිට නැති,නොතිබුනු පහසුකම් පවා ඒ පොඩි උන්ට තියෙනවා.ඒත් ඔවුන්ට නොලැබුනු එක දෙයක් තියෙනවා.ඒක තමයි වටිනම දේ.
ඒ තමයි අම්ම කෙනෙක්ගෙ,තාත්තා කෙනෙක්ගෙ එහෙමත් නැතිනම් සහෝදර සහෝදරියකගෙ ආදරය.ම්න් කලින් කිව්ව වගේ එතන වැඩ කරන අය එයාලට ගොඩාක් ආදරෙයි තමයි.ඒත් පොඩි උන්ට ඕනා ආදරේ එයාලට දෙන්න කාර්යය මණ්ඩලයට පුලුවන්කමක් නෑ.මොකද එතන ඉන්න ලමයි විශාල පිරිසක් අතරින් හැම කෙනාටම වෙන වෙනම අවධානය යොමු කරන එක අසීරු නිසා.ඒක නිසා ඒ පොඩි උන් පිටින් යන අයට ගොඩක් එකතුයි.ආදරෙයි."අනේ අක්කේ මාව පොඩ්ඩක් වඩා ගන්නකො" එහෙමත් නැත්තම් "අනේ මට බත් කවන්නකෝ","සෙල්ලම් කරන්න එන්නකො" ....... ඔය වගේ අපෙන් කෙරෙන ඉල්ලීම් නිමක් නෑ.එයාලට නොලැබෙන ආදරේ එයාලා අපෙන් බලපොරොත්තු වෙනවා.


මමත් මගේ යෙහෙලියත් ඒ කාල පරිච්ඡේදය ගත කලේ හරිම සතුටින්.ඒ පොඩි කාලය ඇතුලත පොඩි පැටව් එක්ක ඉක්මනින්ම යාලු වෙන්නත් අපිට පුලුවන් වුණා.ඒ හිටපු හැම පොඩ්ඩෙක්ගෙම නම මට අදටත් හොදින් මතකයි.සේවා කාලය නිමා වුණත් එයාලා දාලා එන්න බැරි තරම් අපි එයාලට කිට්ටු වුණා.ඒත් ඉතින් හැමදාම ඒක කරන්නත් බෑනේ.ඉතින් දුකින් වුණත් පොඩි උන් ටිකට සමුදීලා අපිට එන්න සිද්ද වුණා.ඒත් අපි එතන ගතකරපු සුන්දර කාල වකවාවනු මතක් කරලා දෙන සේයා රූ කීපයක් අපි ගාව ඉතුරු කරගන්න අපිට පුලුවන් වුණා.(ඇත්තටම ලමා නිවාසෙ පාලිකාවගෙන් විශේෂ අවසරයක් අරන් තමයි ඡායාරූප ටික ගන්න පුලුවන් වුනේ.)

ඉතින් ඔහොම වැඩ කටයුතු නිමා වෙලා ගෙදර ඇවිත් ඉන්නකොට තම්යි මට මතක් වුනේ පොඩි යාලුවො ටික බලන්න ආයෙත් ගිහින් එන්න ඕනේ කියලා.එතකොට තමයි මට මතක් වුණේ මගේ උපන්දිනේ දවසට දානයක් බාරගත්තා නම් මට ආයෙත් ගිහින් එයාලව බලලා එන්න පුලුවන් කියලා.එඩා එහෙම පටන් ගත්ත වැඩපිළිවෙල තමයි මේ තාමත් කෙරීගෙන යන්නෙ.මම විතරක් නෙවෙයි ගෙදර අනිත් අයත් ඒකට එකතු වෙන්නෙ හරිම කැමත්තෙන්.හැමපාරම අර මාත් එක්ක service එකට ගිය මගේ හොදම යාලුවාවත් මම එක්ක යනවා දානේ දවසට.අපි හැමෝම ගොඩාක් සතුටු වෙන දවසක් ඒක.

මගේ තාත්තා සාමාන්‍යයෙන් ටිකක් තද හිතක් තියෙන කෙනෙක්.ආදරේ පිටතට නොපෙන්නන කෙනෙක්.ඒ වගෙම මූණ පුරා වැවුණු රැවුල නිසා පොඩි එවුන් අපේ තාත්තා ලගට යන්නත් බයයි.පොඩි එවුන් විතරක් නෙවෙයි මේ 18ත් පැනපු මගේ සමහර යාලු මිත්‍රයොත් බයයි. :පී ඒත් අර අම්මා තාත්තා නැති පොඩි උන්ට නම් ඒ ගැන වගක් වත් නෑ.වැඩිපුරම එකතුවෙන්නෙ තාත්තා වටේ.සමහරවිට එතන පිරිමි අය දකින්න අඩු නිසා වෙන්න ඇති.වඩාගන්න කියලා කරදර කර කර ඇගේ එල්ලෙනවා.ඔන්න එදාට තමයි අපිට තාත්තා පොඩි උන් හුරතල් කරන දුර්ලභ දර්ශනය දැකගන්න පුලුව්න් වෙන්නෙ.
ඇත්තටම ඒ පොඩි උන්ගෙ මූණු වලින් බේරෙන සතුට දැක්කම අපේ හිතත් පිරෙනවා.උන්ට ඕනේ අපි ගෙනියන රස මසවුලු නෙවෙයි.කාටහරි කියල ආදරෙන් බත් කටක් කවාගන්න,ඔලුව අතගාගන්න,ආදරෙන් කියන වචනයක් දෙකක් අහන්න............

කොහොමවුනත් මම එතන service එකට යනකොට හිටපු දරුවන්ගෙන් කීප දෙනෙක්ම මම ඊට මාස කීපයකට පස්සෙ බලන්න යනකොට හිටියෙ නෑ.දුල්ශාන්ට වයස අවුරුදු 6 පිරුනු නිසා එයාව අහන්ගම ලමා නිවාසෙකට මාරු කරලා යවලා තිබුණා ඉස්කොලෙ යවන්න ඕන නිසා.පුන්චි කවීෂව එයාගේ දෙමව්පියො අවිත් එක්කන් දින් තිබුණ.එතකොට මනුරව තවත් යුවලක් දරුකමට හදාගන්න ගෙනිහින් තිබුනා.ඔහොම මම යනකොට හැම අවුරුද්දෙම මුලින් හිටපු දරුවො කීප දෙනෙක් දකින්න හිටියෙ නෑ,ඒ වගෙම කලින් නොදැකපු පොඩි මූණු ටිකක් දකින්න ලැබුනා.
මේ පාර උපන්දිනේට යනකොට නම් තනිකරම අලුත් මූණු ටිකක් තමයි මම දැක්කෙ.පොඩි දුකකුත් දැනුනා.ඉස්සර හිටියටත් වඩා පොඩි වයසෙ උන්! :(
දැන් මගේ යාලුවො එතන නෑ කියල ඉතින් මම කරගෙන ගිය කටයුත්ත නවත්තන්නෙත් නෑ.මට පුලුවන් තාක් කල් ඒ කටයුත්ත කරගෙන යනවා.මුලින් ඒ කටයුත්තේ වටිනකමක් මට නොතේරුනාට දැන් මට තේරෙනවා ඒක කොයි තරම් ලොකු පිනක්ද කියලා.කන්න දෙන එකේ නෙවෙයි ඒ පින තියෙන්නෙ! ඒ ඊට එහා ගිය දෙයක්!හැබැයි අපි පින් තකා නෙවෙයි කුසල් රැස් කරන්න ඕනේ!නැතුව පින් ලබාගන්න එහෙම නෙවෙයි හොදේ! :ඩී

ඉතින් මමත් මගේ යාලුවොන්ට කියන්න ගියේ තමන්ගෙ උපන්දිනේ හරි වෙන මොකක් හරි විශේෂ දවසක් හරි යෙදුනම එදාට නිකන් කාලා බීලා පාටි දාලා නිකරුණේ සල්ලි නාස්ති කරන්නෙ නැතුව අවන්කවම තමන්ට තෘප්තිමත් වෙන්න පුලුවන් දෙයක් කරන්න.හිගන්නෙකුට කෑම එකක් අරන් දෙන්න,ලමා නිවාසෙකට වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න,අසරණ සතෙක්ට පිහිටක් වෙන්න,කන්න ටිකක් දෙන්න,මරණයට කැප වුණු ගවයෙක් නිදහස් කරන්න............ ඔය වගේ තව කෙනෙක් වෙනුවෙන් වැඩක් ඇති දෙයක් කරන්න අපි කාටත් පුලුවන්........ එහෙම වුණොත් කවදහරි දවසක ඒ කරපු දේවල් ඔයාලට සතුටින් මතක් කරන්න හැකියාව ලැබේවි. :)

එහෙනම් ඔන්න මම නවතිනවා.කාලෙකින් තමා post එකක් ලිව්වෙ.දැන් හිතට සතුටුයි. :)
අවසාන වශයෙන් ඔයාලට බලන්න මගේ පුන්චි යාලුවොන්ගෙ පින්තූර ටිකකුත් දාන්නම්.
(photos ටික නම් qaulity නෑ හොදේ.ගනන් ගන්න එපා.:ඩී)


ඔන්න අපේ පොඩ්ඩො ටික.............



















7 comments:

  1. හොඳ ආදර්ශයක්...

    ReplyDelete
  2. මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ..
    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ...
    බොහෝම පින් ඇති වැඩක්

    ReplyDelete
  3. ෂෝයි පොඩ්ඩෝ ටික.ඔයාට සුභ උපන් දිනක් කියල පතන්නම් ඔන්න පරක්කු වෙලා හරි :)
    ජයම වේවා යාලු :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තන්කූ. :ඩී ඔයටත් ජයෙන් ජයම පතනව අක්කී..... :)

      Delete
  4. අලංකාරවත් ලෙස ලියා තිබෙනවා. ඔබට ජය...ඔබේ දක්ෂතාවය අගයමින් මෙහි එක්කරනු ලැබුවා https://www.facebook.com/groups/ScoutingBloggers/

    ReplyDelete